Sunday, June 10, 2018

සංස්කෘතිය සහ ජනප‍්‍රිය සංස්කෘතිය


සංස්කෘතිය යන්න හඳුනා ගැනීමේදී එක් නිශ්චිත සීමාවකට විග‍්‍රහ කළ නොහැක. සංස්කෘතිය පිලිබද පවතින පැරණිම නිර්වචන ලෙස සලකනුයේ (1871) ඊ.බී ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නිර්වචන යයි.

 "සංස්කෘතිය යනු දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජය ජීවත්වන පුද්ගලයකු වූ වශයෙන් ලබා ගන්නා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සමස්ත යයි" 

මේ අනුව පුද්ගයාගේ සමස්ත හැසිරීම් රටාව සංස්කෘතිය වශයෙන් හඳුනාගත හැකි වේ. සංස්කෘතිය පිළිබඳ "රැල්ෆ් ලින්ටන්" මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය වන්නේ 

"සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් සමාජයකට විශේෂිත වූත්, එහි ලක්ෂණ හැටියට සැලකිය හැක්කා වූත් දැන උගත් ප‍්‍රතිචාරයන්හි සංවිධානාත්මක එකතුවකි." 
යන්නයි.
 එසේම "කාල්ටන් එස් කුන්" නම් මනෝවිද්‍යාඥයා සංස්කෘතිය හඳුන්වන්නේ ඉගෙනුම් ක‍්‍රියාවලියක් ලෙස ය. මිනිසා තමා ජීවත් වන ආකාරය පරම්පරාවෙන් පරම්පරාවට ලබාදෙන බවත් එසේ පවරා දෙන්නේ තමා ඉගෙන ගත් දේ හෙවත් සංස්කෘතිකය බව මෙහිදි අදහස් කරයි. සංස්කෘතිය යන පදයට නිශ්චිත එ්කීය අර්ථ නිරූපණයක් නොමැති බව මේ අයුරින් පැහැදිලි වනු ඇත. සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සංස්කෘතිය සතු ගති ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 
  •  සංස්කෘතිය ඉගෙනුම් ක‍්‍රියාවලියකි 
  •  සංස්කෘතිය සමාජ අන්තර් ක‍්‍රියා ඔස්සේ ගොඩනැගෙන සමාජ         තත්වයකි 
  •  සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වන්නකි 
  •  සංස්කෘතිය අඛණ්ඩ ක‍්‍රියාවලියකි 
  •  සංස්කෘතිය ගතිකය 
  • සංස්කෘතිය සාපේක්ෂය 


ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳව හඳුනා ගැනීමේදී ජනප‍්‍රිය යන්නේ වචනාර්ථය ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා සමග වැඩෙන වශයෙන් සරලව දැක්විය හැකිය. 14-16 සියවස් අතර කාලයේ පුරාණ ග‍්‍රීසියේ පුනරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේදී ව්‍යවහාරයට ලක් වූ ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය නාගරීකරණය හා ගෝලීයකරණය සමඟ ප‍්‍රචලිත විය. 20 වන සියවසේදී එය වඩා ප‍්‍රචලිත විය. ජන සංස්කෘතිය වෙත මාධ්‍ය විසින් කරන ලද බලපෑම ජනප‍්‍රිය සංස්කෘතියේ පදනමයි. පොදුජන විඥානය මෙහෙයවන ආධිපත්‍යක් ලෙස ජනමාධ්‍ය ජනප‍්‍රිය සංස්කෘතිය ක‍්‍රියාත්මක කරයි. 
ජනප‍්‍රිය සංස්කෘතිය ව්‍යාපාරික අපේක්ෂාවන් පදනම් කරගෙන බිහි ව ඇති සංස්කෘතික කර්මාන්තයේ  භාණ්ඩ හා සේවා මූලික කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිෂ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතිකාංග බවට පත්කර ඇත. පාරිභෝගික ජනතාව විසින් ජනප‍්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යනු ලබයි. ජනමාධ්‍ය විසින් ඉතා සරල ක‍්‍රමවේදයක් තුළ අඩු මූල්‍යමය මැදිහත්වීමෙන් සරල වින්දන සංස්කෘතියක ආකෘතිය අක‍්‍රීය පාරිභෝගිකයන් බවට පොදු ජනතාව පත් කර ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනාගැනීමේ මූලිකාංග කිහිපයක් පවතී. 


  •  කාලය 
  •  තාක්ෂණය මැදිහත් වේ 
  •  කර්මාන්තකරණය 
  •  පරිභෝජනවාදී 
  •  සංවේදී කරනය 
  •  ආකර්ශනීයයි 
  •  සරල බව හා නොගැඹුරු බව 
  • දූෂිතය 
  •  එ්කාකෘතිකය 
  •  සම්මතකරණය 
  •  ගතානුගතික 
  •  මුසාවාදය 
  • මිත්‍යාව       යනුවෙන් දැක්විය ඇකිය. 


ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ නිර්වචනන කිහිපයක් බැලීමේදී,

 ''මිනිසාගේ තෘප්තිය උදෙසා කරන නිර්මාණ ජනප‍්‍රිය සංස්කෘතිය ව'' 
-ඩෙනස් තොම්සන්-

 ''ජන මෝහනීය සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතියය'' 
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර- 

''බහුතර ජනතාවගේ හිමිකර ගැනීමට ලක්වූ සංස්කෘති'' 
-නූතන විචාරකයින්- 

''සමාජයේ ජීවත්වන සෑම දෙනාගේම සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතියයි'' 
-බටහිර කලා විචාරකයින්- 

මෙලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගැනීමට හැකිය. පවතින  සංස්කෘතික ලක්ෂණ වලට නවීණ ලක්ෂණයන් එක්වීමත් විනෝදය සතුට ප‍්‍රීතිය ප‍්‍රමාදය පවත්වා පවත්වාගෙන යනු ලබන අංග ජනප‍්‍රිය සංස්කෘතික ක්ෂේත‍්‍රයට අදාළ බවත් ජනමාධ්‍ය තුලින් විසුරුවා හරින විනෝදාස්වාදන ක‍්‍රමයට අයත් බවත් හඳුනා ගත හැකිය. 

ජනප‍්‍රිය සංස්කෘතිය යනු, සංස්කෘතිය ජනයා අතර ප‍්‍රිය වීම ලෙස සරලව හඳුනා ගත හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය සංගීතය, කලාව, සාහිත්‍යය, විලාසිතා, චිත‍්‍රපටි, රූපවාහිනිය, ගුවන් විදුලිය, නව මාධ්‍ය වැනි අංගයන්ගෙන් සැදුම් ලත් එකතුවකි. ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වීමේදී ජනමාධ්‍ය ප‍්‍රබල බලපෑමක් සිදු කරයි. ජනප‍්‍රිය සංස්කෘතිකාංග සමාජයේ දිගු කලක් වැඩෙමින් පවතින අතර එය මිනිසාගේ දෛනික ජීවිතය අතර බැඳී පවතී. සාමාන්‍යයෙන් ජන සංස්කෘතිය මගින් පුද්ගලයාගේ හර පද්ධතිය වර්ධනය කරන නමුත් ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය නොකරයි. 

එය පුද්ගලයාගේ විවේක කාලය ගත කිරීම සඳහා වන ආදේශයකි. ජනප‍්‍රිය සංස්කෘතිය ක‍්‍රියාත්මක කරන ජනමාධ්‍යයන් මෙහෙයවනු ලබන්නේ ව්‍යාපාරික ආධිපත්‍ය මගිනි. මෙය සමාජ විද්‍යාවේ හඳුන්වන්නේ ප‍්‍රභූන් විසින් තමන්ට පහළ ස්ථරය පාලනය කිරීම සඳහා යොදා ගත් සංස්කෘතිය බවයි. එමෙන්ම පාලක පන්තියේ සංස්කෘතියට විරුද්ධව නැගී සිටින පොදු බලවේගයක් ලෙසිනි. මෙම ද්විත්වය අතුරින් වඩාත් ප‍්‍රකට මතය වන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය වන්නේ පොදු ජනතාවගේ සංස්කෘතිය බවයි. 

බොහෝ විට ජනප‍්‍රිය සංස්කෘතිය පුද්ගල හා වාණිජමය අපේක්ෂාවන් මත පදනම්ව බිහිව අතර ඇති අතර එමඟින් ජන මනසට නව අංග හඳුන්වා දෙයි. ජනමාධ්‍ය මඟින් තම ප‍්‍රචාරක ප‍්‍රයෝග මගින් සමාජයක ජීවත් වන පුද්ගලයාගේ සිතුම් පැතුම්, ආකල්ප, විලාසිතා, අධ්‍යාපනය ඇතුලූ බොහෝ දේ තීරණය කරයි. ජනප‍්‍රිය සංස්කෘතිය ගෝලීය කරණය නම් සංකල්පය වඩාත් ශක්තිමත් වීම තුළින් වඩාත් ජනප‍්‍රිය වන අතර සංස්කෘතියක නිෂ්පාදන අලෙවි වන ප‍්‍රමාණයේ වේගය මත එය ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් බවට පත්වේ. මෙලෙස සංස්කෘතිය හා ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබද හඳුනා ගැනීමට හැකිය. 

No comments:

Post a Comment