Saturday, August 4, 2018

කුමක් කරනු දැන් කල් ගතවුවා..


ගිරවියක් වගේ නැඟූ මැසිවිලි

සුර ළියක් වගේ ලොව දිනූ රඟමිනි
මහමෙරක් වගේ සිත පුරා සිතිවිලි
මලක් වගේ හැඩ පුංචි සමනලි..

මලින් මලට යන බඹරෙක් වුවා හිටි හැටියේ විත් සෙනෙහස පෑවා සියලු පැතුම් පොදි අමතක වුවා පිපි මල බඹරුට හදවත පෑවා..
සුර ළියක් වගේ රැඟූ තටු මැළවුවා ගිරවියක් වගේ ගැයූ හඬ නිමවුවා සියල්ල අහුරන වැට කඩොලක් වුවා ප්‍රේමය නම් මුළු ලොවක්ම වුවා.. කලක් මිහිරි පෙම් ගීයක් ගැයුවා කල් යන විට පද ගොරෝසු වුවා කැඩී බිඳී පද එහෙ මෙහෙ වුවා ගැයුමක් නොව පෙම නමටම වුවා.. රුවට වශී වුණු බඹරා වුවා ගත් විට රොන් ටික මල පරවුවා හැර යන මඟ ඔහු මල තනිවුවා කුමක් කරනු දැන් කල් ගතවුවා.. - සුමේදා රත්නසිරි-



Tuesday, July 31, 2018

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා..


සිංහල සුුභාවිත ගීතයේ ආ ගිය මඟ විමසා බලන විට එකී මෙඟහි නොමැකෙන සළකුණක් ලෙස ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ නාමය ජනිත වී තිබේ. හෙතෙම සිය නාද රසයෙන් සුපෝෂණය කර ගීත සාහිත්‍යයට දායාද කරන ලද ගීතයන් ප‍්‍රමාණය සංඛ්‍යාත්මක අයුරින් කිව නොහැකි තරම් වෙයි. ඔහු එවැනිම තවත් නොමැකෙන සළකුණු ද්විත්වයක් සමඟින් එක් වී ඉතා අපූරු ගීතයක් නිර්මාණය කරයි. එම ගීතයට හඬ මුසු කරන්නේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් යන විරුදාවලිය ලත් පණ්ඩිත් අමරදේවයන්ය. අපූරු පද සංකල්පනා තුළින් එම ගීතය රසාලිප්ත කරනුයේ කුලරත්න ආරියවංශ නම් අපූරු ගේය පද රචකයා විසිනි. එම අපූර්ව වූ ගීතය නම් ”සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා...” ගීතයයි.

සාහිත්‍යයේ පවතින නව නළු රසයන් අතරින් එක් රසයකි ශෘංගාර රසය. මෙම හෘංගාර රසය ආකාර දෙකක් වෙයි. එනම්, විප‍්‍රලම්භ ශෘංගාරය සහ සම්භව් ශෘංගාරයයි. වෙන්වීමේ දුක නිසා ඇතිවන සාහිත්‍යමය රසය සහ පේ‍්‍රමයේ එක්වීම නිසා ඇති වන රසයයි. මෙම ගීතයේ ගැබ් කොට ඇත්තේ පෙම්වතුන් දෙදෙනෙක් එක්වීමේ ශෘංගාරයයි. මෙම අපූර්ව වූ පේ‍්‍රමයේ ශෘංගාරාත්මක භාවයත් එය ඉදිරිපත් කරන සංයමයත් ඒ හා ගැළපෙන ලෙස මුසු කර ඇති සංගීත ස්වරයත් රසවිදින්නා මෝහනය කිරීමට සමත්ය. එය අගය කළ යුත්තකි.

”සඳ හොරෙන් හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා”

රාත‍්‍රිය යනු පේ‍්‍රමණිය මොහොතකි. පෙම්වතුන්ගේ එක් වීමේ මොහොත රාත‍්‍රියයි. එසේම සාහිත්‍ය පුරාම සඳ යන පදය පෙම්වතුන්ට ඉතා සමීප බවක් දක්වයි. මෙම ගීතයේදී සඳහන් අන්දමට පේ‍්‍රමවන්තයින් දෙදෙනෙකු එක් රාත‍්‍රියක පෙම් සුව විදීමක් දැක්වෙයි. රාති‍්‍රය සහ සඳ යොදා ගනිමින් පරිසර වර්ණනාවක් ඉදිරිපත් කරන ආරියවංශයන් මෙහිදී සඳ සජීවි වස්තුවක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙහිදී සඳ හොරෙන් හොරෙන් හොරෙන් ලෙස තෙවරක් යොදා අනුප‍්‍රාස රසය සමඟින් සඳෙහි ප‍්‍රාණවත් බවත් පේ‍්‍රමවන්තයින් දෙදෙනාගේ පේ‍්‍රම ජවනිකාවත් තීව‍්‍රකොට දක්වා ඇත. කුලරත්න ආරියවංශයන් මෙම රාත‍්‍රී යාමයේ පේ‍්‍රම කතාවක යෙදෙන පෙම්වතුන් දෙදෙනාගේ පේ‍්‍රමයේ තිබෙන ශෘංගාරාත්මක බව ඉතා සියුම් ලෙස දක්වමින් සඳට පවා එය බලා සිටීමටත් බලා නොසිටීමටත් නොහැති බවක් පවසයි. විටෙක සඳට ලැජ්ජාවක්ද ඇතිවන නිසා සඳ වළාරොදේ සැඟවීගෙන හොරෙන් ඔවුන් දෙදෙනාගේ පේ‍්‍රමය දෙස බලා සිටින බවක් දක්වන්නේ ඉතා සංයමයෙන් යුතුව එම අවස්ථාවේ පවතින ලිංගිකත්වයක් පිළිබඳ පවසමිනි. බොහෝ අයෙකුට මෙය අතිශයෝක්තියක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත. නමුත් සඳ සහ පරිසරය යොදා ගෙන මෙම අවස්ථාව ඉදිරිපත් කිරීම රචකයාගේ දක්ෂතාව සහ සාහිත්‍ය සංයමය විදහා පාන්නක් වන්නේ මෙම පේ‍්‍රම ජවනිකාව පුද්ගලයෙකු දැකීමක් සඳහන් කිරිම ශිෂ්ට සම්පන්න නොවන නිසාත් එයින් නියම සාහිත්‍ය රසයක් ලබා ගැනීමට නොහැකි වන නිසාත්ය.


”කඳුළු බිදු ගලා සඳේ 
තුරුලතා පුරා”

විරහව පිළිබඳ අර්ථකතන ගෙනහැර දැක්වීමේදී කඳුළු යන සාධකය කිසිදු අයුරකින් හෝ අමතක කළ නොහැකිය. එසේනම් මෙහිදී ආරියවංශයන් කඳුළු යන වදන තම පද වැලට ඉතා අපූරු ලෙස මුසු කරමින් සඳෙහි ආලෝකයත් සමඟ දිස්නය දෙන පිණි බිඳු සඳෙහි කඳුළු බිඳු ලෙස උපමා කොට වෘක්ෂයන් පුරා විසිරී යන බව දක්වයි. එසේනම් මින් ගම්‍ය වන්නේ සඳ හඬන බවයි. සැබවින්ම සඳහඬන්නේ කුමන කරුණක් නිසාවෙන්ද? සඳ නම් තනිකඩයෙකි. එසේනම් තනිකඩයෙකුට තවත් පෙම් යුවළක් පෙමින් බැඳී සිටීම හා ඔවුනොවුන් පේ‍්‍රමයේ නොඉඳුල් සුවය විඳීම බලා සිටීම සිඳු කළ නොහැක්කකි. එසේ නම් සඳ තුළින් සංකේතවත් කරන්නේ තනිකඩයෙක් හෝ පේ‍්‍රමයේ විරහ වේදනා විදින්නෙකු වේ. ඔහු හෝ ඇය කෙරෙහි මෙකී පෙම් යුවළ කෙරෙහි පවත්නා ලිංගික ඊර්ෂ්‍යාව යන සාධකය ප‍්‍රබල ලෙස ඉස්මතු කර ඇතැයි සිතීම වැරද්දක් නොවේ. සඳ යන අජීවී වස්තුවට ජීවී බවක් ගෙනහැර පාමින් ලිංගික ඊර්ෂ්‍යාව වැනි ප‍්‍රබල කරුණක් ශෘංගාරාත්මක අයුරින් මෙන්ම ඉතා සියුම් සංවරශීලි බස් වහරක් යොදා ගනිමින් පැවසීමට ආරියවංශයන් පද වැල් ගළපන ආකාරය අපූරු සහගත වේ.

”සියොළඟම සැලී මගේ 
නොහිමි සීතලේ
ඔබේ නෙත යදී 
මහද වියරුවෙන්”

මේ අයුරින් පේ‍්‍රමයේ ශෘංගාරාත්මක බව එසේත් නැතිනම් පේ‍්‍රමාන්විත ලිංගිකත්වය නම් සැඟවුණු පැතිකඩ ඉතා සියුම් ලෙස පද රචනයේදී ආරියවංශයන් මනා හික්මීමෙන් යුතුව සිය පදවැල් තුළට එක් කරයි. මෙහිදී ”සීතලේ” යන වදන ඉතා ප‍්‍රබලව යොදා ගනියි. මෙම සීතල පේ‍්‍රමාන්විතය. ඉතා ප‍්‍රියකරය. ඔහුට මෙම සීතල සීමාවක් නොමැතිව දැනෙන්නා වූ සීතලකි. මෙය අවට පරිසරය තුළින් ස්වාභාවික ලෙස දැනෙන සීතලක් නොවේ. තම පේ‍්‍රමවන්තියගේ උණුසුම තම කය වෙත සංතර්පණය කොට ගැනීමට ඔහු තුළ ඇතිවන ආසාව කියා පෑමට යොදන උපායයි. ඔහු එම උණුසුමට පෙම් බඳියි.මෙහිදී කුලරත්න ආරියවංශයන් ඉතා ව්‍යංගානුරූපිව සඳහන් කරන්නේ ලිංගිකත්වයයි. මෙම පේ‍්‍රමවන්තයා තම පේ‍්‍රමිය වෙත සිදුකරන ලිංගික ආරාධනයක් උක්ත පද වැලින් ගම්‍ය කරන්නේ පද රචනයේදී ඉතාමත් සංයමයක් දක්වමිනි.

”කියුඔු වැල් ලිහී ඔබේ 
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
 සිතුම් සසල වෙයි
නිවාලන්න මා
 ඔබේ සිසිලසින්”

ලිංගිකත්වය යන කරුණ සහ ශෘංගාරය යන්න රචකයා තවදුරටත් විග‍්‍රහකොට දක්වයි. ලිංගිකත්වය මත ස්පර්ශය, සිපගැනීම, වැළඳගැනීම, ලිංගික සංසර්ගය මනා ලෙස ගැබ්ව පවතී. එහෙක් මෙහිදී රචකයා ස්පර්ශය යන සාධකය හා ස්වාභාවික පරිසරය තුළ අපට හමුවන සාධකයන් සුසංයෝගයට ලක් කරයි. එනම් සුළඟ හෙවත් මාරුතයයි. කියුඔු වැල් යනු ස්ත‍්‍රියගේ කොණ්ඩයයි. මෙහිදී ස්ත‍්‍රියගේ කේශාවන් සුළඟට සැලෙයි. එු තුළින් පේ‍්‍රමාන්විතයාට මෙය ස්පර්ශ වේ. එතුළින් ඔහු සුවදායක සතුටක් ලබයි. මෙය ස්වාභාවික පරිසරයේ බලපෑමකින් ඉබේ සිදුවන ක‍්‍රියාදාමයකි. නමුත් පේ‍්‍රමවන්තියගේ කේහ කලාපය මේ අයුරින් ස්පර්ශ වීම පේ‍්‍රමවන්තයා ලබන්නේ ශෘංගාරාත්මක රසයකි.

එපමණක් නොව තම පේ‍්‍රමවන්තියගේ ස්පර්ශයෙන් පේ‍්‍රමවන්තයා හට කායික මෙන්ම මානසික සුවයක්ද ඇති වේ. සැබැවින්ම සැබෑ පේ‍්‍රමයක් තුළ මිනිසුන්ගේ මානසිකත්වයට සිදුකරනු ලබන්නේ විශාල බලපෑමකි. ලිංගික සංතර්ලණය එහිදී සුවිශේෂී අවස්ථාවක් වේ. ඒ තුළ ලබන රසය හා ඒ තුළ ලබන මනදොල පිනවීම මත සිතුවිලි වෙනස් කිරීමට හේතු වේ. ඒ තුළ ඇති වන්නේ පේ‍්‍රමයද ලිංගිකත්වය ද එක් වූ මානුෂීය හැඟීමකි.
එකී මානුෂීය බැඳීම විඳිනු ලබන පේ‍්‍රමාන්විතයෙකුට ඉන් මිදීමට නොහැකි වේ. තවදුරටත් එය අවැසි වේ.

”නිවාලන්න මා ඔබේ සිසිලසින්”

ශිෂ්ට සම්පන්න පේ‍්‍රමයක් තුළ ඇතිවන ලිංගික බැඳීම පුදුමාකාරී වේ. එය නොමඟ ගියවුන් සුමඟත්වයට පත් කිරීමට මනා පිටුවහලක් බවට පත් වේ. පේ‍්‍රමාන්විතයන්ගේ තුළ වූ කාමුකත්වය නැති වී මානුෂීය ගති පැවතුම් ඉහළ නැංවීමට මෙම පේ‍්‍රමය මෙම සබැඳියාව හේතු වී තිබේ. ඉහත පද වැලෙහි ”සිසිලස” යන වදනින් ගම්‍ය වන්නේ එකී සුන්දරත්වය නොහොත් එකී මානුෂීය බැඳීමයි.
ගීතයක ප‍්‍රබලත්වයට එහි පබැඳුම මෙන්ම සංගීතයද ගෙනදෙන්නේ මනා පිටුවහලකි. එබැවින් මෙහිදී පේ‍්‍රමදාසයන්ගේ ස්වර රචනය පිළිබඳවද සැලකීම වැදගත්ය. ඔහු මෙහිදී බතා ප‍්‍රබල ලෙස යලීනය භාවිතා කරමින් අපූරු ධ්වනිතාර්ථ මතු කොට තිබේ. සැබැවින්ම ඉන් මතුකර ඇත්තේ පේ‍්‍රමය හා ඒ තුළ වූ ශෘංගාරාත්මක රසයයි. එමෙන්ම ගීතයේ බොහෝ තැන්වල ”ම් ම් ම්” යන ස්වරාලංකාර භාවිතය තුළ අපූරු රසයක් ජනිත කොට තිබේ. එය ගීතයේ අර්ථය උපරිමය දක්වා ඔසවා තැබීමට උපකාරී වී තිබේ. එසේම මෙම ශෘංගාරාත්මක රාත‍්‍රිය රසික දෑස් ඉදිරියේ ප‍්‍රතිනිර්මාණය කිරීමට ”චෙලෝ” නමැති සංගීත භාණ්ඩයද කේමදාසයන් මෙහි සංගීතය මුසු කිරීමේදී යොදා ගැනීමත් මනාවට ආරියවංශයන්ගේ පද වැලට අලංකාරයක් ගෙන දෙයි.

සමස්තක් ලෙස කුලරත්න ආරියවංශයන්ගේ පද බැඳුමත්, කේමදාසයන්ගේ ස්වර රචනයත්, පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ මාධුර්්‍යයත් මුසුව නිමැවුනු ”සඳ හොරෙන් හොරෙන්” ගීතය පේ‍්‍රමය තුළ වූ ශෘංගාරාත්මක රසය පේ‍්‍රමය තුළ වූ ලිංගිකත්වය මනා ලෙස ස්වාභාවික ලෙස අතිශය සංයමයෙන් යුතුව පවසමින් අපූර්ව වූ අර්ථාන්විත මෙන්ම අපූර්ව වූ ශබ්ද රසයෙන්ද පෝෂණය වූ නිර්මාණයක් ලෙස අගය කල හැකිය.


ගීතය


සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා...

කඳුළු බිඳු ගලා සඳේ
තුරුලතා පුරා
සියොළඟම සැලී මගේ
නොහිම් සීතලේ
ඔබේ නෙත යදී
මහඳ වියරුවෙන්...

කියුඹු වැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා
ඔබේ සිසිලසින්...



පදරචනය- කුලරත්න ආරියවංශ
ගායනය- පණ්ඩිත් අමරදේව
සංගීතය-පේ‍්‍රමසිරි කේමදාස



මම නුඹේ කුස...


නොබලා ඇස් කොනකින්වත්
නොසිතා සිත් කොනකින්වත්
මන්ද
පෑවේ ඔය
ආඩම්බරකම්...
හොඳහැටි දනී ඔබ
සිතේ රැුදවූ ආදරය
නුඹට මම...
එපා කෙනෙහිලි
බලන් හදවත
නොවේ පිට ඔපය
ආදරණීය පබාවතී
මම නුඹේ
කුස...

සුමේදා රත්නසිරි

Thursday, July 19, 2018

මාධවියකගේ පණිවුඩය..




හැර ගියත් ඔබ
නැතේ වෛරය
සිතේ රඳවන්
ඔබේ රුව ඇති
කුඩා දුවණිය
මගේ හදවත
නිවාලයි නිති
ඇතිද මතකය
අපේ පේ‍්‍රමයේ
සිටිනමුත් ඔබ
ඔබේ පතිනිය
කන්නගී
ළඟ
රඳාගනු මැන
මතකයේ ඔබේ
මමත් රැුකි බව
මගේ පතිවත
ඔබේ නාමයෙන්
කෝවලන්...

සුමේදා රත්නසිරි

Sunday, July 1, 2018

ශි‍්‍ර ලංකාවේ ගුවන්විදුලිය ආරම්භය සහ පෞද්ගලික නාලිකා ආරම්භය


ශි‍්‍ර ලංකාවේ ගුවන් විදුලිය ආරම්භ වූයේ බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව සිටි සමයේදී ය. එකල ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය ඇති කිරීම සඳහා එවකට තැපැල් හා විදුලි සංදේශ අංශයේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා වූ බි‍්‍රතාන්‍ය ජාතික ”එඞ්වඞ් හාපර්” මහතාගේ මැදිහත් වීම හා ආධුනික ගුවන් විදුලි සංගමයේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය රජය කමිටුවක් මගින් කරුනු සොයා බලා ලංකාවේ ගුවන් විදුලි මාධ්‍ය ඇරඹීමට තීරණය කරන ලදිx ඒ අනුව 1924 වන විට ඒ පසුබිම මත ලංකාවේ ගුවන් විදුලි සේවයක් ස්ථාපිත විය. එහිදී කමිටුවේ තීරණය අනුව ගුවන් විදුලි මාධ්‍ය පාලනය මෙහෙය වීමට රාජ්‍ය අංශයට ලබාදීමට තීරණය කෙරිණි. මුල් කාලීනව ඉංගි‍්‍රසි මාධ්‍යයෙන් වැඩසටහන් බොහෝමයක් විකාශය වූ අතර ක‍්‍රමයෙන් සිංහල නිවේදකයන් බඳවා ගැනීම හා සියලූ වැඩසටහන් විකාශයද සිදු විය.

මෙසේ ගුවන් විදුලි සේවය වර්ධනය වෙමින් 1990 දශකය ආරම්භයත් සමඟ ගුවන් විදුලියට එෆ් එම් දශකයක් උදා විය. මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවූ ඉතා වැදගත්ම සිදුවීම වාර්තා වූයේ මෙම 90 දශකයේදීය. එනම් රාජ්‍ය ගුවන් විදුලි ඒකාධිකාරය බිද දමමින් පෙෘද්ගලික අංශය විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍ර‍්‍රයට එක් වීමයි. මෙලෙස පෙෘද්ගලික නාලිකා ආරම්භය කෙරෙහි සමාජීය, ආර්ථික, දේශපාලනික සාදක බලපැවැත්විය.

එනම් එවක පැවැති එක්සත් ජාතික පක්ෂ රජය පෞද්ගලික ගුවන් විදුලි සේවයක් ඇරඹීමට ”කලම්බු කොමියුනිකේෂන්” ආයතනයට අවසර දීමත් සමඟ 1991 වසරේදී ”එෆ් එම් 99” නමින් ශි‍්‍ර ලංකාවේ ප‍්‍රථම පෞද්ගලික නාලිකාව ආරම්භ කරන ලදී. ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ලිවි විජේමාන්න මහාතා එහි හිමිකරු හා සභාපති විය. 1982 පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක් පවත්වා ගෙන යාමට බලපත‍්‍රයක් ලැබු ප‍්‍රථම ලාංකිකයා වීමෙ ගෞරවයද ඔහුට හිමි විය. මෙම කොලඹ හා නුවර ප‍්‍රදේශයට පමණක් සීමා වු සේවාවෙන් විවිධ සංස්කෘතිකාංග වැඩි වශයෙන් ප‍්‍රචාරය කෙරිණිග

නමුත් විශේෂයෙන්ම ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරිමේ එ්කාධිකාරයක් රජය සතුව තබා ගනිමින් පෞද්ගලික නාලිකා වලට අවසර දෙනු ලැබිය. රාජ්‍ය මාධ්‍ය ඔස්සෙ සිදු වු සාම්ප‍්‍රදායික රාමුවෙන් පිටතට ගිය ගුවන් විදුලි විකාශනය පෞද්ගලික මාධ්‍ය ඔස්සේ ආරම්භ විය. 1993 දී මහාරාජා සංවිධානයට සිංහල හා ඉංගි‍්‍රසි ගුවන් විදුලි දෙකක් ආරම්භ කිරිමට අවසර හිමි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස 1993 වසරේ දෙසැම්බර් 10 මහාරාජා ආයතනයේ, සිංගප්පුරු ටෙලිකොම් ආයතනයත් එකවර මෙරට ඉංගි‍්‍රසි අසන්නන් වෙනුවෙන් ”යර්ස් එෆ් එම්” ගුවන් විදුලි සේවය ආරම්භ කරන ලදී. මෙය ප‍්‍රබල එෆ් එම් තරංග මාලා ඔස්සේ විකාශය කිරිම නිසා දිවයින පුරා යහපත් ශ‍්‍රවන ජාලයක් ඇති කිරිමට සමත් විය. තරුණ පරපුර ගුවන් විදුලියට එක් රොක් කර ගැනිමට හැකි විම පෞද්ගලික ගුවන් විදුලි සේවයේ සාර්ථකත්වයට හේතු විය. සාම්ප‍්‍රදායික ගුවන් විදුලි රාමුවට ය. 'යර්ස් එෆ් එම්' පෞද්ගලික ගුවන් විදුලි සේවයේ ඇරඹිම සමඟ අභියෝගයක් එල්ල විය.

එසේම රාජ්‍ය ගුවන් විදුලි සේවය තුලදී නිවේදක නිවේදිකාවන්ට හිමි වු අවස්ථා වලට වැඩි අවස්ථා ප‍්‍රමාණයක් පෞද්ගලික ගුවන් විදුලි සේවා ආරම්භයේදී ලැබිණි. යොවුන් නිවේදක නිවේදිකාවන්ට ගුවන් විදුලි ක්ෂේත‍්‍රයට සම්බන්ධ විමේ අවස්ථා ලැබිණි. යර්ස් එෆ් එම් ඇරඹි මාස 04ට පසු ''සිරස එෆ් එම්'' නමින් මහාරාජා ආයතනයේ සිංහල ගුවන් විදුලිය අති සාර්ථක විය. ලංකාවේ නිවසේ සිට බස් රථය දක්වාම ගමන් කිරිමට සිරස ගුවන් විදුලි නාලිකාව සමත් විය. සාම්ප‍්‍රදායික රටාවෙන් බැහැරව විකාශනය ගෙන යාම මෙයට ප‍්‍රධාන හේතුව විය. විවිධ සංගීතමය වැඩසටහන් සදහා ප‍්‍රමුඛත්වය දෙමින් සිරස ගුවන් විදුලි සේවය ක‍්‍රියාත්මක විය. තවද සිරස ගුවන් විදුලිය අන්තර්ජාලය ඔස්සේ ද රස විදිමට ඉඩ ප‍්‍රස්ථා නිර්මාණය විය.

පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් ආරම්භ විම සදහා හේතු සාධක විමසිමෙ දී මෙතෙක් නිර්මාණය වු පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් නිසාත් රාජ්‍ය සේවයේ අපහසුකම් නිසාත් ගුවන් විදුලි ඒකාධිකාරයෙන් පවත්වා ගෙන ගිය ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ ආදායම් තත්වය දිගින් දිගටම දුර්වල විය. පෞද්ගලික නාලිකාවන්හි ව්‍යාපාර කටයුතු සදහා අලෙවි ප‍්‍රවර්ධකයන් යොදා ගෙන කටයුතු කිරිම නිසා ඔවුන්ගෙ ආදායම් තත්වය වර්ධනය කර ගැනිමට හැකි විය. දිනෙන් දින පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් වැඩි විය.

1998 අග භාගයේ දී පෞද්ගලික ගුවන් විදුලි සේවයන් ආරම්භ කිරිම සදහා ආසියානු ගුවන් විදුලි සංගමයට අවසර ලබා දෙන ලදී. ඒ අනුව 1999 මුල් භාගයේ දී ඒ. බි. සි. නමින් මෙම ගුවන් විදුලි සේවය ඇරඹිය. මෙය එතෙක් පැවති ගුවන් විදුලි සේවයන්ට වඩා වෙනස් අයුරකින් ගුවන් විදුලි සේවා 5ක් විවිධ වයස් කාණ්ඩ වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් විකාශය ගෙන යන ලදී.

දෙමල ඉංග‍්‍රිසි වශයෙන් වෙන වෙනම සේවා තුනක් ආරම්භ කරමින් කොල්ලුපිටියේ පිහිටි ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල වෙත ගෙන යන ලදී. එහිදී සිංහල සේවාව ”සවන” නමිනුත් ගුවන් සේවාව එෆ් එම් 99 සේවයන් ඉංග‍්‍රිසි සේවයන් නැපිටල් රේඩියෝ නමිනුත් ගුවන් විදුලි සේවා තුනක හදුන්වා දෙන ලදී.
මෙම පෞද්ගලික ගුවන් විදුලි සේවා වඩාත් ලාභ ලබන ආයතන බවට පත් විම හේතුවෙන් තවත් පෞද්ගලික ආයතන කිහිපයක්ම හා නව ගුවන් විදුලි සේවා ඇරඹිමේ බලපත‍්‍ර රජයෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව ”ටි.එන්එ.ල්” නමින් ඉංග‍්‍රිසි ගුවන් විදුලිය ආරම්භ කිරිමට සීමා සහිත ටෙලිෂාන් ආයතනයට අවසර හිමි විය.
දිගින් දිගටම රජයේ ගුවන් විදුලි ශ‍්‍රාවකයන් ඈත් වීම නිසා 1994 බලයට ආ රජය නව ගුවන් විදුලියක් ආරම්භ කිරිමට ගත් තිරණයකට අනුව 1996.11.15 දින ගුවන් විදුලි සංස්ථාෙවිම ” ලක්හඬ” නමින් නව ගුවන් විදුලි සේවයක් අරඹන ලදී. මෙම සේවය සදහා යොවුන් නිවේදක නිවේදිකාවන් විශාල පිරිසක් බදවා ගනිමින් එතෙක් පැවති පෞද්ගලික ගුවන් විදුලි සේවාවන්ට වෙනස්ම වැඩසටහන් විකාශයට අවධානය යොමු කෙරිණි.
 
දැඩි විවෙචනයට භාජනය වු ලක්හඬ ගුවන් විදුලිය රජයේ තවත් හොරණෑවක් ලෙස හදුන්වන ලදී. ආරම්භයේදී ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සේවකයන්ගේ දැඩි විරෝධය එල්ල විය. එය සමථයකට පත් වුයේ ලක්හඬ පාලනය ස්වාධින රූපවාහින්යට පැවරිමත් සමග ය. නැවත වරක් 1998 දී සි/ස ආයතනය ටි.එන්එ.ල් නමින් සිංහල ගුවන් විදුලි සේවයක් ආරමිභ කරන ලදී. ඒ වන විට  ශ‍්‍රාවකයන්ට සිරස, සවන, ලක්හඬ, ශ‍්‍රි ලංකා ගුවන් විදුලිය යන ගුවන් විදුලි සේවයන් හතරට පිරිස් යොමු වී සිටි නිසා ටි.එන්එ.ල් සදහා පිරිස අඩු විය. ලාභ ලැබිම අඩු විය. මෙම තත්වය යටතේ තනි ගුවන් විදුලි සේවයන්ට හිරවී සිටි ශ‍්‍රාවකයන්ට තමන්ට රිසි සේ වැඩසටහන් තෝරා ගෙන රස විදිමට පරිසරයක් ගොඩ නැගිනි. 1998 වසර මැද දී ටි.එන්එ.ල් ගුවන් විදුලිය තම වැඩසටහන් ආකෘතිය වෙනස් කරන ලදී.


  • හිරු ගුවන් විදුලි සේවය - සිංහල තරුණ අසන්නන්ට
  • සන් ගුවන් විදුලි සේවය - ඉංග‍්‍රිසි තරුණ අසන්නන්ට
  • තරු ගුවන් විදුලි සේවය - වැඩිමහල් සිංහල අසන්නන්ට
  • ගෝල්ඞ් ගුවන් විදුලි සේවය - වැඩිමහල් ඉංග‍්‍රිසි අසන්නන්ට
  • සුර්යය ගුවන් විදුලි සේවය - දාවිඩ අසන්නන්ට  


ලංකාවෙ වැනි ගුවන් විදුලි ශ‍්‍රාවකයන් පිරිසක් සිටින රටක මේ ආකාරයට කාණ්ඩ වශයෙන් සේවා ප‍්‍රචලිත වීම අඩු විය. ඒ නිසා වැඩිමහල් සිංහල අසන්නන් වෙනුවෙන් වු තරු ගුවන් විදුලි සේවය ලාභ අපේක්ෂාවෙන් එහි ව්‍යුහය සම්පුර්ණයෙන් ම වෙනස් කොට පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන සංගීතමය ගුවන් විදුලියක් බවට පත් වු අතර හය ''ෂා'' එෆ් එම් ය. ඒ. බි. සි. ගුවන් විදුලි සේවය පලපුරුදු නිවේදකයන් හා වැඩසටහන් සැලසුම්කරුවන් වැටුප් දී සේවයට බදවා ගැනිම මත අනෙකුත් ගුවන් විදුලි සේවා තුළ අභ්‍යන්තර ගැටුම් ද ඇති විය.
කෙසේ වෙතත් වර්තමානය වන විට ශ‍්‍රි ලංකා ගුවන් විදුලියට අමතරව ජනප‍්‍රිය වු මෙම පෞද්ගලික නාලිකා බොහෝමයක් මෙරට ගුවන් ජාලය වෙන් කර ගෙන ඇත.



බලාපොරොත්තුවක්..

මහ පොළොව මත
තනිවුණු
ජීවමාන වෘක්ෂයක්
ඉරිතලා ගොස් වියළී
ගිම්හානයේ
සරදමට හසුව
නමුත්
බලාපොරොත්තු
පොදි බැදන්
හැකි සෑම කාලයක්
බලා සිටින්නේය
පැමිණෙන තුරු
වස්සානය...




Tuesday, June 12, 2018

බෙන් 10 කාටූන් මාලාව ඔස්සේ ගොඩනැගුණු ජනප‍්‍රිය සංස්කෘතිය හා වෙළෙඳ සංස්කෘතිය

ලොව පුරා ළමයින් ගෙන් සාපේක්ෂව විශාල ප‍්‍රමාණයක් බෙන්ටෙන් මත යැපෙයි. වර්තමානයේ රූපවාහිනියට අමතරව සීඞී ඞීවීඞී පටිගත කරන ලද කොටස් වශයෙන් වෙන්කර එක් කතාංග වශයෙන් ඉතා පහසු මිලට විකිණීමට බෙන් 10 කාටූන් මාලාව ඇත. මාධ්‍ය හරහා බිහි වූ බෙන් 10 කාටූන් මාලාව පිළිබඳ  ජනප‍්‍රිය සංස්කෘතිය හේතුවෙන් එ්  අයුරින්ම වෙළඳ සංස්කෘතියක් ප‍්‍රබලව ක‍්‍රියාත්මක වීම්ක් දක්නට ලැබේ. ළමා උපකරණ සියල්ලක් සඳහාම මෙම බෙන් 10 චරිතයේ අනුරූප උපයෝගී කොට ගනිමින් ලාභ ඉපයීමේ අරමුණ ඇතිව නිෂ්පාදන සමාගම් නිෂ්පාද සකස් කිරීමක් දක්නට ඇත. මෙම බෙන් 10  ඡුායාරූප සහිත නිෂ්පාද වෙත අති විශාල ඉල්ලූමක් පවති.

බෙන් 10 චරිතයේ ජනප‍්‍රියත්වය මත ළමයින් ගේ සිතුම් පැතුම් වෙනස් වී පවතී. එනම් දරුවන්ගේ වීරයා ලෙස මෙම ප‍්‍රධාන චරිතය බවට පත්වී ඇත. බෙන් 10  අනුකරණය කිරීමට දරුවන් පෙළඹී ඇත.

දරුවන් සිහින ලෝක තුළ ජීවත් වෙයි. මෙම තත්වය පදනම් කරගනිමින් නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන දරුවන්ගේ අවධානය ගැනීමට බෙන් 10 චරිත අශ‍්‍රය කරගෙන විචිත‍්‍රවත්ව ඉදිරිපත් කිරීමක් සිදුවෙයි.

බෙන් 10 ජනපි‍්‍රය සංස්කෘතියක් නි්මාණය කොට ඇති බවට නිදර්ශණ ලෙස දරුවන්ගේ විශේෂ අවස්ථා සඳහා බෙන් 10 සලකුණු ආභාෂය භාවිතා කිරීම් දක්නට ලැබේ. උපන්දින සාද වැනි අවස්ථාවලදී කේක්් නිර්මාණ සඳහා දැවන්ගේ අවධානය දිනා ගැනීමට බෙන් 10 අනුරූ භාවිතා කරයි.


එදිනෙදා භාවිතා කරනු ලබන හාණ්ඩ හා සාමාන්‍ය ජීවිතයේ කටයුතු සඳහා බෙන්ටෙන් සංස්කෘතිය බලපෑමක් ඇතිකර ඇති බව පෙනෙන්නට ඇත. එසේම පෞද්ගලික වශයෙන් භාවිතා කරන රූපලාවන්‍ය උපකරණ නිවසේ දරුවන්ගේ උපකරණ මේස පුටු ආදී ගෘහභාණ්ඩ ගෘහ අලංකරණ ආයිත්තම් ආදි විවිධ දෑ සඳහා බෙන් 10 ජනප‍්‍රියත්වය බලපෑම් කර ඇති බව පෙනේ.

                                                   බෙන් 10 සුවඳ විලවුන්         බෙන් 10 ජෙල්

බෙන් 10 ඡායාරූප සහිතව නිර්මිත භාණ්ඩයන් අතිශය ජනප‍්‍රියත්වයක් ලබා ඇත.

එසේම ළමා ඇඳුම් ළමා විනෝද භාණ්ඩ ඇතුළු ළදරු අවධියේ සිට දරුවන් වැඩිවියට පත්වන තෙක් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වන සියලූම භාණ්ඩ උප උපකරණවල බෙන් 10 ජනප‍්‍රියත්වය සමඟ වෙළඳ සංස්කෘතියක් නිර්මාණය කොට ලාභ ඉපයීමේ මාර්ගයක් බවට පත්වී ඇත.
බෙන් 10 සමඟ ඇති වූ ජනප‍්‍රිය සංස්කෘතිය හේතුවෙන් ආහාර  පාන රටාවන්ද වෙනස් වී ඇත. බෙන් 10 කාටූනය තුළ භාවිතා වන ආහාර බ`දුන් මෙන්ම නවමු ආහාර වර්ගයන් ද මේ ආශ‍්‍රයෙන් නිර්මාණය වී ඇත.
බෙන් 10 ජනප‍්‍රිය සංස්කෘතිය තුළ ළමා සිතුම් පැතුම් හැසිරීම් ද අතිශය වශයෙන් වෙනස් වී ඇති අයුරු දැකගත හැකිය. එය වෙනස් වූ සිතුම් පැතුම් හැසිරීම් අරභයා නිර්මාණය විය දරුවන්ගේ විවේක කාලය මුදල් ඉපයීම්ය අරමුණු සහ සාක්ෂාත් කර කර ගැනීම සඳහා භාවිතා කිරීමක් වශයෙන්   වීඩියෝ ක‍්‍රීඩා  වෙළඳපලට ඉදිරිපත් කොට ඇත.
පාසල් උපකරණ නිෂ්පාදන සඳහා ද ප‍්‍රධාන වශයෙන්ම බෙන් 10 ප‍්‍රතිරූපය යොදා ගෙන ඇති බව පෙනෙන්නට ඇත.
විශේෂයෙන් සඳහන් කළ යුතු තවත් කරුණක් වෙයි නම් දරුවන් මූලික කොටගෙන ජනප‍්‍රියත්වයට පත්ව ඇති බව සාමාන්‍ය කරුණක් වන විට විශේෂ කරුණ වන්නේ දෙමව්පියන් තුළ ජනප‍්‍රිය සංස්කෘතික බලපෑම් ක‍්‍රියාත්මක වීමයි. එනම් තම කිසිදෙයක් නොතේරෙන කිරිකැටි දරුවාට ඔවුන් ගෙන එනුයේ බෙන් 10 ආභාෂයේ නිෂ්පාදනයන්ය.
සමස්තයක් ලෙස දරුවෙකු ළදරු අවධියේ පටන් ඔහුගේ වැඩිිහිටි අවධිය තෙක් ඔහුගේ ආකල්ප හැඟීම් ඇතුළු මානසික සංසිද්ධීන් සමඟ බෙන් 10 ප‍්‍රමුඛත්වයක් ගෙන ඇති බව පෙනෙයි. මේවා මෙම මාධ්‍ය විසින් බෙන් 10 පිළිබඳ මවන ලද ජනප‍්‍රිය සංස්කෘතිය ලෙස හඳුනා හඳුනාගත හැකිය. එමඟින් ලාභ ඉපයීමේ අරමුණෙන් නිෂ්පාදන සමාගම් වෙළඳ සංස්කෘතියක් ඇතිකරගෙන ඇතිකර අයුරු ද හඳුනාගත හැකිය.

උක්ත කරුණු අනුව ජනප‍්‍රිය සංස්කෘතිය තුළ බෙන් 10 චරිතය ප‍්‍රධාන වශයෙන් ළමුන් අතර මෙන්ම විශේෂයෙන් වැඩිසිටි මානසිකත්වය තුළටද බෙන්ටෙන් ජනපි‍්‍රයත්වය බලපා ඇති අයඅරු පිළිබඳ කරුනු පැහැදිලි කර ගත හැකිය.

Sunday, June 10, 2018

සංස්කෘතිය සහ ජනප‍්‍රිය සංස්කෘතිය


සංස්කෘතිය යන්න හඳුනා ගැනීමේදී එක් නිශ්චිත සීමාවකට විග‍්‍රහ කළ නොහැක. සංස්කෘතිය පිලිබද පවතින පැරණිම නිර්වචන ලෙස සලකනුයේ (1871) ඊ.බී ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නිර්වචන යයි.

 "සංස්කෘතිය යනු දැනුම, ඇදහිලි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජය ජීවත්වන පුද්ගලයකු වූ වශයෙන් ලබා ගන්නා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සමස්ත යයි" 

මේ අනුව පුද්ගයාගේ සමස්ත හැසිරීම් රටාව සංස්කෘතිය වශයෙන් හඳුනාගත හැකි වේ. සංස්කෘතිය පිළිබඳ "රැල්ෆ් ලින්ටන්" මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නිර්වචනය වන්නේ 

"සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් සමාජයකට විශේෂිත වූත්, එහි ලක්ෂණ හැටියට සැලකිය හැක්කා වූත් දැන උගත් ප‍්‍රතිචාරයන්හි සංවිධානාත්මක එකතුවකි." 
යන්නයි.
 එසේම "කාල්ටන් එස් කුන්" නම් මනෝවිද්‍යාඥයා සංස්කෘතිය හඳුන්වන්නේ ඉගෙනුම් ක‍්‍රියාවලියක් ලෙස ය. මිනිසා තමා ජීවත් වන ආකාරය පරම්පරාවෙන් පරම්පරාවට ලබාදෙන බවත් එසේ පවරා දෙන්නේ තමා ඉගෙන ගත් දේ හෙවත් සංස්කෘතිකය බව මෙහිදි අදහස් කරයි. සංස්කෘතිය යන පදයට නිශ්චිත එ්කීය අර්ථ නිරූපණයක් නොමැති බව මේ අයුරින් පැහැදිලි වනු ඇත. සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී සංස්කෘතිය සතු ගති ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. 
  •  සංස්කෘතිය ඉගෙනුම් ක‍්‍රියාවලියකි 
  •  සංස්කෘතිය සමාජ අන්තර් ක‍්‍රියා ඔස්සේ ගොඩනැගෙන සමාජ         තත්වයකි 
  •  සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට සම්පේ‍්‍රෂණය වන්නකි 
  •  සංස්කෘතිය අඛණ්ඩ ක‍්‍රියාවලියකි 
  •  සංස්කෘතිය ගතිකය 
  • සංස්කෘතිය සාපේක්ෂය 


ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳව හඳුනා ගැනීමේදී ජනප‍්‍රිය යන්නේ වචනාර්ථය ජනයා අතර ප‍්‍රිය වූ හා ජනයා සමග වැඩෙන වශයෙන් සරලව දැක්විය හැකිය. 14-16 සියවස් අතර කාලයේ පුරාණ ග‍්‍රීසියේ පුනරුද යුගයේ සිට ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හඳුනාගෙන තිබේ. 19 වන සියවසේදී ව්‍යවහාරයට ලක් වූ ජනප‍්‍රිය සංස්කෘතිය කාර්මීකරණය නාගරීකරණය හා ගෝලීයකරණය සමඟ ප‍්‍රචලිත විය. 20 වන සියවසේදී එය වඩා ප‍්‍රචලිත විය. ජන සංස්කෘතිය වෙත මාධ්‍ය විසින් කරන ලද බලපෑම ජනප‍්‍රිය සංස්කෘතියේ පදනමයි. පොදුජන විඥානය මෙහෙයවන ආධිපත්‍යක් ලෙස ජනමාධ්‍ය ජනප‍්‍රිය සංස්කෘතිය ක‍්‍රියාත්මක කරයි. 
ජනප‍්‍රිය සංස්කෘතිය ව්‍යාපාරික අපේක්ෂාවන් පදනම් කරගෙන බිහි ව ඇති සංස්කෘතික කර්මාන්තයේ  භාණ්ඩ හා සේවා මූලික කරගත් වාණිජකරණය තුළ සංස්කෘතික නිෂ්පාදන සියල්ල බහුජන මාධ්‍ය විසින් ජනප‍්‍රිය සංස්කෘතිකාංග බවට පත්කර ඇත. පාරිභෝගික ජනතාව විසින් ජනප‍්‍රිය සංස්කෘතිය පවත්වාගෙන යනු ලබයි. ජනමාධ්‍ය විසින් ඉතා සරල ක‍්‍රමවේදයක් තුළ අඩු මූල්‍යමය මැදිහත්වීමෙන් සරල වින්දන සංස්කෘතියක ආකෘතිය අක‍්‍රීය පාරිභෝගිකයන් බවට පොදු ජනතාව පත් කර ඇත. ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනාගැනීමේ මූලිකාංග කිහිපයක් පවතී. 


  •  කාලය 
  •  තාක්ෂණය මැදිහත් වේ 
  •  කර්මාන්තකරණය 
  •  පරිභෝජනවාදී 
  •  සංවේදී කරනය 
  •  ආකර්ශනීයයි 
  •  සරල බව හා නොගැඹුරු බව 
  • දූෂිතය 
  •  එ්කාකෘතිකය 
  •  සම්මතකරණය 
  •  ගතානුගතික 
  •  මුසාවාදය 
  • මිත්‍යාව       යනුවෙන් දැක්විය ඇකිය. 


ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබඳ නිර්වචනන කිහිපයක් බැලීමේදී,

 ''මිනිසාගේ තෘප්තිය උදෙසා කරන නිර්මාණ ජනප‍්‍රිය සංස්කෘතිය ව'' 
-ඩෙනස් තොම්සන්-

 ''ජන මෝහනීය සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතියය'' 
- මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර- 

''බහුතර ජනතාවගේ හිමිකර ගැනීමට ලක්වූ සංස්කෘති'' 
-නූතන විචාරකයින්- 

''සමාජයේ ජීවත්වන සෑම දෙනාගේම සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතියයි'' 
-බටහිර කලා විචාරකයින්- 

මෙලෙස ජනප‍්‍රිය සංස්කෘතිය හඳුනා ගැනීමට හැකිය. පවතින  සංස්කෘතික ලක්ෂණ වලට නවීණ ලක්ෂණයන් එක්වීමත් විනෝදය සතුට ප‍්‍රීතිය ප‍්‍රමාදය පවත්වා පවත්වාගෙන යනු ලබන අංග ජනප‍්‍රිය සංස්කෘතික ක්ෂේත‍්‍රයට අදාළ බවත් ජනමාධ්‍ය තුලින් විසුරුවා හරින විනෝදාස්වාදන ක‍්‍රමයට අයත් බවත් හඳුනා ගත හැකිය. 

ජනප‍්‍රිය සංස්කෘතිය යනු, සංස්කෘතිය ජනයා අතර ප‍්‍රිය වීම ලෙස සරලව හඳුනා ගත හැකිය. ජනප‍්‍රිය සංස්කෘතිය සංගීතය, කලාව, සාහිත්‍යය, විලාසිතා, චිත‍්‍රපටි, රූපවාහිනිය, ගුවන් විදුලිය, නව මාධ්‍ය වැනි අංගයන්ගෙන් සැදුම් ලත් එකතුවකි. ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වීමේදී ජනමාධ්‍ය ප‍්‍රබල බලපෑමක් සිදු කරයි. ජනප‍්‍රිය සංස්කෘතිකාංග සමාජයේ දිගු කලක් වැඩෙමින් පවතින අතර එය මිනිසාගේ දෛනික ජීවිතය අතර බැඳී පවතී. සාමාන්‍යයෙන් ජන සංස්කෘතිය මගින් පුද්ගලයාගේ හර පද්ධතිය වර්ධනය කරන නමුත් ජනප‍්‍රිය සංස්කෘතිය ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණය නොකරයි. 

එය පුද්ගලයාගේ විවේක කාලය ගත කිරීම සඳහා වන ආදේශයකි. ජනප‍්‍රිය සංස්කෘතිය ක‍්‍රියාත්මක කරන ජනමාධ්‍යයන් මෙහෙයවනු ලබන්නේ ව්‍යාපාරික ආධිපත්‍ය මගිනි. මෙය සමාජ විද්‍යාවේ හඳුන්වන්නේ ප‍්‍රභූන් විසින් තමන්ට පහළ ස්ථරය පාලනය කිරීම සඳහා යොදා ගත් සංස්කෘතිය බවයි. එමෙන්ම පාලක පන්තියේ සංස්කෘතියට විරුද්ධව නැගී සිටින පොදු බලවේගයක් ලෙසිනි. මෙම ද්විත්වය අතුරින් වඩාත් ප‍්‍රකට මතය වන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය වන්නේ පොදු ජනතාවගේ සංස්කෘතිය බවයි. 

බොහෝ විට ජනප‍්‍රිය සංස්කෘතිය පුද්ගල හා වාණිජමය අපේක්ෂාවන් මත පදනම්ව බිහිව අතර ඇති අතර එමඟින් ජන මනසට නව අංග හඳුන්වා දෙයි. ජනමාධ්‍ය මඟින් තම ප‍්‍රචාරක ප‍්‍රයෝග මගින් සමාජයක ජීවත් වන පුද්ගලයාගේ සිතුම් පැතුම්, ආකල්ප, විලාසිතා, අධ්‍යාපනය ඇතුලූ බොහෝ දේ තීරණය කරයි. ජනප‍්‍රිය සංස්කෘතිය ගෝලීය කරණය නම් සංකල්පය වඩාත් ශක්තිමත් වීම තුළින් වඩාත් ජනප‍්‍රිය වන අතර සංස්කෘතියක නිෂ්පාදන අලෙවි වන ප‍්‍රමාණයේ වේගය මත එය ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් බවට පත්වේ. මෙලෙස සංස්කෘතිය හා ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබද හඳුනා ගැනීමට හැකිය. 

Friday, June 1, 2018

දවසක් පැල නැති හේනේ ගීතය සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන්,


දවසක් පැල නැති හේනේ-අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා-ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යටකරගෙන-නින්දා වැහි වැගිරුනදා 
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැැනුනා මට අම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලූ කරගෙන-මුහුදු හුළඟ හඬලන විට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ 
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ...

      
ගායනය සහ සංගීතය-ගුණදාස කපුගේ
පද රචනය- රන්බණ්ඩා සෙනෙවිරත්න


මෙම ගීතයේදී පුතෙකු මවකගේ ගුණ ඉස්මතු වන ආකාරයට ඉදිරිපත් නරන කතාවක් අඩංගු වෙයි. තම දිවි නොතකා පියා මෙන්ම මවද දරුවකුව සෑමවිටම රුකවරණය ලබා දෙයි. නමුත් පියා නොමැති විය මව පියා දෙදෙනාම වන්නේ මවයි. මෙහීදී මෙම දරුවාට මවත් පියාත් දෙදෙනාම වී ඇත්තේ අම්මා පමණක් බව පෙනෙයි.

‘දවසක් පැල නැති හේනේ-අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ’

මෙහිදී වචනයෙන් ඇසට පෙනෙන ලෙස තේරුම් යන්නේ පැලක් නැති හේනක අකලට වැස්ස වැස්සකදී හිසට සෙවනක් නොවූ හෙයින් පුතු නොතෙමෙන ලෙස මව ඔහුව ආවරණය කරගෙන ඇය තෙමුන බවය. වැස්ස තුරන් වන තුරු ඇය එකම ඉරියව්වෙන් තමන්ට රුකවරණය දුන් බව පුතා සිහිපත් කරයි. එය එසේ සඳහන් කළත් මෙම ගීතය සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන් විමසීමේදී මෙහි වචන ඇතුළත ගැබ්වූ අර්ථය මෙයට එහා ගිය බරපතල කාරණයක් ඇති බව පෙනෙන්නට ඇත. මෙහීදී ‘පැල නැති හේන’ යනුවෙන් අදහස් කරනුයේ ඔවුන්ගේ පියතුමා නොමැති පවුල විය හැකිය. එනම් ‘පැල’ යෙදුමෙන් ඔවුන්ට රැකවරණය දුන් ශක්තියක් වූ පියතුමා නොමැතිව ඔවුන්ගේ පවුල වියළි කාෂ්ඨක හේනක් වී ඇති බව තේරුම් ගත හැකිය. ඒ කෙසේ වුවත් පියෙකුගේ රැුකවරණය අහිමි වූ මෙම මවට හා පුතුට විවිධ ගැටලූ මෙන්ම ජීවත් වීමට ඇති දුක් පීඩා, වේදනාවන් සියල්ල මව විසින්ම විදදරා ගනිමින්  තමන්ව රැුකගත් බව පුතා කාලයක් ඉක්ම ගිය පසු සිහිපත් කරයි. මවකගේ ආදරය සෙනෙනහස කරුණාව මනාව ඉස්මතු කරමින් දෘෂ්‍යාර්තයට වඩා ගැඹුරු අර්තයක් මෙහි සඟවා ලොවට ඉදිරිපත් කිරිම තුලින් විශිෂ්ට සෞන්දර්යාත්මක බවක් මෙයින් ඉස්මතු වී පෙනෙයි.
අපමන දුක් විද තමදරුවා ලොකු මහත් කර සමාජයේ වැදගත් ස්ථානයකට පත් කරන මව වෙතින් ඔහු ඈත් වන්නේය. මව තනිකර මොහු නගරයට පැමිණෙයි. සමාජයේ තනතුරු තානාන්තර ලබයි. විවාහයක් ද සිදුකරගෙන ජීවිතය ගෙන යන අතරතුර දිවියේ අපහසු කාලසීමා පසුකරන විට සමාජයෙන් නින්දා අපහාස එල්ල වන විට ඔහුට නැවතත් තමන්ගේ මව මතකයට නැගෙයි.

‘නුවර වීදි යටකරගෙන-නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනහෙ ගියා-යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ’

එනම් ඔහුට සමාජයේ හිමි වී තිබූ තත්ව තානාන්තර ගිලිහී යමින් දෝෂාරෝපන එල්ල වන විට ඔහු අසලින් සිටි සියල්ලන්ම ඔහු වෙත්න් ඉවත්ව යයි. ඔහුගේ බිරිඳ පවා ඔහු හැර යයි. සියල්ල ඔහු සතුව ඇති විට සැවොම ඔහු වටා සිටියද තමන් දුකට පත් වූ අවස්ථාවේ කිසිවෙකු නොවීය. ඔහු හා සියලූ දෙයට සිටි බිරිඳ පවා ටිකින් ටික වෙනස් වූ බව ඔහු පවසන්නේ කදිම උපමාවකිනි. යෝධ ඇලේ බැසිමට ඇගේ වෙනස් වීම සමාන බැව් ඔහු උපමා කරයි. එනම් යෝධ ඇලේ බැස්ම ක‍්‍රමවත්ව සැතපුමට අඟල් 06ක් බැගින් විස්මිතව සිදුකර ඇත. එලෙස ටිකින් ටික බිරිඳගේ සෙනෙහස තම තනතුරු නම්බු නාම සමඟම ඈත් වූ බවත් තමන් තනි වූ බවත් ඔහු දක්වන්නේ කලකිරීමෙනි. එම තනි වූ විට ඔහුට නැවතත් තම මව මතක් වෙයි. කොපමණ කරදර පීඩා පැමිණියත් අම්මා කිසි විටෙක ඔහු තනි කලේ නැති බව ඔහුට මතක් වේ. නමුත් ඔහු තම මව තනිකර දමා නගරයට පැමිණ නිර්මාණය කරගත් අලූත් ජීවිතය තුළ ගැටලූ පැන නැගී තමන් අසල සිටි සියල්ලන්ම තමන් හැර ගොස් තනි වී ඇති මොහොතේ ඔහුට මව සිහිවන්නේ ඔහුට පිහිටක් සරණක් වන්නේ ඇය පමණක් වන බව ඔහු දන්නා බැවිනි.

‘කොළඹ අහස කලූ කරගෙන-මුහුදු හුළඟ හඬලන විට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ’

මේ එල්ල වන නින්දා අපහාස ගැරහුම් අතර ඔහු අසන්නේ ඔහුට හිමිව තිබූ සියලූ දෙය අතහැර දමා නැවත අම්මාගේ තුරුලේ රැකවරණය ආදරය පතා එන්නය. ඔහු එය මවගෙන් ආයාචනා කරන ස්වරය ඉතාමත් හැඟුම්බරය.

‘මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ’

තම පුතණුවන් නැවත පිළිගන්න කිසිදු වෙනසකින් තොරව ඉදිකඩ ළඟ බලාපොරොත්තුවෙන් ඉන්නවාද ලෙස ඔහු මවගෙන් ඉල්ලා සිටියි. සත්‍ය වශයෙන්ම ඔහු එය ඇයගෙන් ඇසිය යුත්තක් නොවෙයි. ඇය සැම දිනම තම පුතනුවන් දැකීමේ ආශාවෙන් මග බලා සිටිනවා විය හැකිය. දරුවන් උස් මහත් වූ පසු දෙමාපියන් හැර දමා ඔවුන් ඔවුන්ගේ ජීවිත ගොඩනංවා ගනී. එය වර්තමාන සමස්ථ සමාජයේම ශෝචනීය යථාර්තයක් බවට පත්ව ඇත. නමුත් දෙමාපිය සිත් තුළ කිසිදු කහටක් තම දරුවන් පිළිබඳ ඇති නොවෙයි. ඔවුන් තම දරුවන් කෙදිනක හෝ තමන් බැලීමට පැමිණේවි යන බලාපොරොත්තුව ඇතිව ජීවත් වෙයි. සෑම දිනම එක ලෙස ඔවුන්ගේ හදවත් දරුවන් වෙනුවෙන් විවෘතය. එසේනම් මෙම ගීතයේදී ඔහු මවගෙන් ආයාචනය කරන්නේ තමන්ගේ මවත් තමන්ට ඇති ආදරය නොවෙනස් බව දන්නා හෙයිනි.

මෙහිදී මොහුට අම්මාගේ සෙනෙහසේ වටිනාකම සිහිවන්නේ සෑහෙන කාලයකට පසුය. සමාජයේ ඉහළ තත්වයකට පැමිණ තනතුරු තානාන්තර ඇතිව විවාහයක්ද සිදුකරගෙන සුඛෝපභෝගී ජීවිතයක් ඔහු ගත කළ බව ‘ඔටුන්න’ යන යෙදුමේදී අර්තවත් වේ. නමුත් කිසිවිටෙකදී ඍම ගොඩනගාගත් සියල්ල බිද වැටුනු විට ඔහු වටා සිටි සියල්ලම ඔහු හැර ගිය විට ඔහු පතන එකම සරණ අම්මා පමණකි. එ් අම්මා කිසිදිනෙක වෙනස් නොවන උතුම් මිහිපිට දේවතාවියක් ලෙස ඔහු දනියිි එබැවින් ඔහුව නැවත බාරගන්නා ලෙස ඔහු ආයාචනා කරන ස්වරූපය ඉතා අසරණ මෙන්ම හැඟුම්බරය. එසේම එය සියලූ මානව සමාජයටම පණිවිඩයකි. එසේනම් මෙහිදී ව්‍යංගයෙන් පවසනාර්තය වන්නේ හයක් හතරක් නොතේරෙන අවධියේ සිට පණ මෙන් රැකගෙන සිප් කිරි පොවා සමාජයේ වැදගතෙකු බවට දරුවන් පත්කිරීමට වෙහෙසෙන දෙමාපියන් හට ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිව මහලූ වූ විට දරුවන් ඔවුන්ට යුතුකම් ඉටුකල යුතු බවයි. මන්ද සැමවිටම දරුවන්ගේ පිහිට සරණ මෙන්ම සාර්තකත්වයේ පදනම ඔහුගේ දෙමාපියන් වන හෙයිනි. නිතරම දරුවන්ගේ දුකේදී මවගේ හදවත උණුවන බවක් එම දුක් නිවීමට දරුවකුට මවගේ සෙනෙහස කරම් වෙනත් කිසිදු ඔසුවක් නොමැති බවත් මෙම ගීතයේදී සෞන්දර්යාත්මක රසයෙන් යුතුව ලොවට පෙන්වා දෙන ආකාරය අගනේය.  



Tuesday, May 29, 2018

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී(මවකගේ පද වැලින් ලියැවූ පියෙකුගේ දරු සෙනෙහස පිළිබඳ සෞන්දර්යාත්මක විචාරය)




පියෙකු හා දරුවෙකුගේ සම්බන්ධයෙදී මව හා සමානව පියා දරුවා වෙනුවෙන්  සිදුකරනු ලබන අති මහත් කැප කිරීම හා විඳිනා දුක් කම්කටලූ මෙම ගීතය තුලින් එලි දක්වනු ලබයි. මෙහි වචන ශබ්ද රසයට වඩා අර්ථ රසයෙන් අනූන සෞන්දර්යාත්මක සන්නිවේදනයක් සමාජයට සිදුකිරීමට මෙහි රචකයා උත්සාහ කර ඇත.
ලෝකයේ මව යන චරිතය සියලූදෙයටත් වඩා ඉහලින් ඇති උතුම්ම පරම පූජනීය චරිතය ලෙස සලකයි. ඇය දෙවැනි වන්නේ බුදුරදුන්ට පමණය. ඇය දරුවෙකු වෙනුවෙන් කරන්නේ දුක් කම්කටලූ පිරි අතිශය වේදනාකාරී මෙන්ම කැපකිරීම් බහුල මෙහෙවරකි. එය වෙනුවෙන් ඇයට හිමිවිය යුතු තත්වය සමාජය ලබාදී ඇත්තේ දරුවෙකුට ඇය වටිනාම පුද්ගල මෙන්ම ලොවේ දෙවැනි බුදුන් ලෙස දක්වමිනිවිවිධාකාරයෙන් මවගේ ගුණ වර්ණනා කරමින් ඇය පූජනීය කරනු ලබයි. දසමාසයක් කුසතුල දරුවෙකු තබාගෙන රැකගෙන ලෝකයේ ඇති දරුනුම වේදනාව විඳ මෙලොවට දරුවා බිහිකරන අම්මා තම ලේ කිරි බවට හරවා තමන්ගේ දරුවාට පොවා දරුවා ලොකු මහත් වනතුරු ඇස්දෙක මෙන් ඇයගේ පණ මෙන් රැක බලාගනීඇය දෙවඟනකි.  එය සැබෑය. නමුත් ඇය පසුපස සිටිමින් ඇයට සවිය වෙමින් ඇය සහ දරුවා දෙදෙනාම දරා සිටින යෝධ ශක්තියක් පවතී. එ් පිළිබඳව සොයා බැලීම අඩුය. සමාජය තුළ එම චරිතය සඳහා මව හා සමාන ස්ථානයක් නොලැබෙනුයේ කිමමෙම සමාජ යථාර්ථය සෙවීමට ඒ පිළිබඳ ලොවට පැවසීමට ඉදිරිපත් වූවන් සිටින්නේ අතළොස්සකි. ඒ චරිතය තුළ ඇති දුක්බර කතාව, හැඟීම් පිළිබඳ සොයා බැලීමට කිසිවකු උත්සාහ නොකරන්නේ මන්ද? ඒ පිළිබඳ සමාජ යථාර්තවාදීව සොයා බැලීම වැදගත්ය. එම චරිතය වන්නේ ආදරණීය පියාය. ඔහු තුළ ගැබ් වී තිබෙන දරු සෙනෙහස පිටතට ප‍්‍රකාශකරන්නේ ඉතාමත් අඩුවෙනි. ඇතැම් විට එයට ඔහුට කාලයක් අදා වන්නේ නැත. එනම් ඔහු තම පවුල වෙනුවෙන් මුදල් සෙවීමට දිවා රැය  වෙහෙසෙනවා විය හැකිය. ඔහුගේ හදවතේ තම ආදරණීය දරුවා වෙනුවෙන් ගැඹුරු සෙනෙහසක් ඇත. ඔහු අපමන කැපකිරීම් සිදු කරනුයේ එම සෙනහසේ බලය නිසාවෙනි.  එය සෞන්දර්යාත්මකව විදිය යුතුය. සැබෑ සෞන්දර්යාත්මක බව රැදී පවතින්නේ එහිය. මන්ද ලොවට හඩ නොනගන ආත්මාර්තයෙන් වෙන්වූ පරාර්ථයෙන් තෙත් වූ හදවතක් තුළ ඔද වැඩෙන දරු සෙනෙහසක හැඟීම්බර කතිකාවතක් එහි ඇත.

මෙම ගීතයේදී මවගේ පිටුපසින් සිට පියා සිදුකරන මෙහෙවර පිළිබඳ යම්කිසි එළිදැක්වීමක් පියෙකුගේ ස්වරයෙන් ඉදිරිපත් කරනුයේ ඉතාමත් හැඟීම්බර මෙන්ම සෞන්දර්යාත්මක ලෙසය.

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හදින් නුඹෙ ලොකය එළිය වුණි ”

 තමන්ගේ ගුණය වර්ණනා කිරීමේදී අම්මා යන චරිතයේ වටිනාකම අඩුකර නැත. අන්ධකාරය තුලින්  එළියකරන සඳක් ලෙස මව දක්වා ඇත්තේ ඇයගේ සෞන්දර්යාත්මක බව පෙන්වීමට විය හැකිය. ඇය ගැහැනියෙකි. එසේම දරුවෙකුට ස්වාමියකුට එළිය ලබා දෙන අඳුරේදී මග පෙන්වන සඳක් ලෙස මව යන චරිතයෙ දක්වමින් ඒ ලෝකයේ දෙදෙනාටම එළියදෙන ප‍්‍රධානියා ලෙස පියා යන චරිතය දැක්වීමට ”ඒ ලොව හිරුය රිදී” යනුවෙන් දක්වා ඇත. එහි වචනාර්ථය ඉතාමත් ගැඹුරුය. එනම් අම්මා දරුවන්ට එළිය ලබාදෙන එළිය ලබා දෙන්නේ සඳක් ලෙස ය. සඳ නැතහොත් චන්ද‍්‍රයා ලොවට එළිය දෙනුයේ ඉරෙන් ලැබෙන ආලෝකය පරාවර්ථනය කරමිනි. එසේ නම් මෙහිදීි සෞන්දර්යාත්මක ලෙස දක්වා ඇත්තේ ඉර නැමැති එම පියා යන චරිතයේ ශක්තිය ලබා ගනිමින් මව එහි ආලෝකයේ ප‍්‍රතිරූපය ලෙස පෙනී සිටින බවයි. මවට පිටුපසින් සිටිමින් ඇයට සවිය වෙමින් ඇය හා දරුවා පෝෂණය කිරීමට ඔහු විදින දුක් වේදනා පිළිබඳ මෙහිදී අපූර්වත්වයෙන් යුතුව දක්වා ඇත. එසේම ඉර සඳු මෙන් මව සහ පියා ලෙස තමන් දරුවාගේ ලෝකය ආලෝකමත් කරන බව පවසන්නේ සෙමින් ආමන්ත‍්‍රණය කරමිනි.

රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදි
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී ”

තම දරුවා පෝෂණය කිරීමට රුකබලා ගැනීමට පියා විදි දුක් ගැහැට පිළිබඳ ඔහු ඉතා සංයමයෙන් යුතුව මෙහිදී දරුවා ආමන්ත‍්‍රණය කරමින් පවසන්නේ ඉතාමත් සෞන්දර්යාත්මක ලෙසිනි. ඒ වගේම පියෙකු ලෙසින් ඔහු සිදුකරන මෙහෙවර වෙනුවෙන් කිසිදු අගය කිරීමක් එසේම ඔහුගේ මෙහෙවර පෙනීමන් නැති බවද ඔහු කියා සිටියි. ඔහුගේ සෙනෙහස ගැඹුරු බව වටහා ගත්තෙක් නොමැත. මවකගේ මෙහෙවර වෙනුවෙන් ඇයට ගරු බුහුමන් දැක්වීමට ඇයව අගය කිරීමට කවි ගීත බිහි වී ඇති ප‍්‍රමාණය අධිකය. නමුත් පියෙකුගේ සෙනෙහස ඔහුගේ දුක් වේදනා පිළිබඳ ලියැවූවන් අවමය. ඒ පිළිබඳ ඔහු යම්කිසි කලකිරීමකින් පසුවන්නේදැයි මෙහිදී ගැටලූවකි. මන්ද ඔහු එක එල්ලේ ඒ පිළිබඳ සඳහන් කරන්නේ නැත. ඔහුට ගරුකිරීමක් අවශ්‍යයැයි ඔහු කියන්නේ නැත. ගෞරවය ඔහු අයදින්නේ නැත. නමුත් ඔහු ඒ පිළිබඳ යම්කිසි සංවේගයකින් පසුවන බව තම දරුවාට ඔහු ඇමන්ත‍්‍රණය කරන අයුරින් පැහැදිලි වේ. ඔහු ඉතාමත් සංසුන්ව ඉදිරිපත් කරන්නේ පියෙකු වෙනුවෙන් සමාජයේ ඇති ගෞරවය මද බවත් පුතෙකු ලෙස ඔබවත් තම සෙනෙහස ඇඳිනගත්තේ නැතිද යනුවෙන් ඉතා හැඟීම්බර ලෙස සෞන්දර්යාත්මකව පවසයි. මව දරුවාව දසමසක් කුස දරාගෙන සිටියා මෙන්ම තමන්ද පියෙකු ලෙස දරුවා වෙනුවෙන් මුලූ ජීවිතයේම බර උසුලන්නේය යන්න මෙහිදී පෙන්වා දෙයි.

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනි
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ”

දරුවාට ජීවිතය දුනිනේ පියාය. දරුවාගේ සිරුරේ දුවන්නේ තමන්ගේ ලේ බව පවසමින් ඔහුගේ සෙනෙහස පිළිබඳ දරුවාට පහදාදීමට මෙහිදී උත්සාහයක් ගන්නා බව පෙනේ. තම ජීවිතයේ පැමිණි සියලූ දුක් වේදනාවන් පීඩාවන් සඳහා මුහුණ දෙමින් මවට හා දරුවාට කිසිදු කරදරයක් නොවන ලෙස ඔවුන් ආරක්ෂා කරමින් ඔහු එම දුක් පීඩා හරහා විශාල පවුරක් ලෙස සැමවිමෙ සිටියි. දරුවා දස මසක් කුස තුළ නොදැරුවත් දරුවාගේ සියලූ වගකීම් තම උරමත හොවාගෙන සිටින්නේ පියාය.

මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ”

දරුවෙකු ඇති දැඩිකිරීමට මෙන්ම ඒ සඳහා මව පෝෂණය කිරීම දෙදෙනාම රැකබලා ගැනීමේ කටයුතු පියා වෙත පැවරුනු වගකීමක් ලෙස නොසලකා මනුෂ්‍යත්වයෙන් ආදරණීය හැඟීමෙන් අනන්ත වූ පිය සෙනෙහසින් තමන්ගේ දරුවා සහ බිරිඳ රැකබලා ගනිමින් ජීවිතයේ පැමිණෙන දුක් ගැහැට විද දරාගෙන සිටියි. එය ගීතයේදී එක් වරම නොපවසයිඔහු තුළ දරුවාට තිබෙන ආදරය පවසන්නේ මහමෙරකට වඩා එය විශාල බව දක්වමින් ඉතාමත් සෞන්දර්යාත්මකවය. තමන්ගේ හදවත තුළ දරුවාට ඇති ආදරය සෙනෙහස කෙතරම්දයත් පවසන්නේ නම් මවගේ මෙන් ලේ කිරි නොවීම පුදුමයක්ම පමණයි යනුවෙන් සඳහන් කරයි. ජීව විද්‍යානුකූලව සිදුනොවන හැඟීම් සිතුවිලි මානසිකත්වය අනුව ආධ්‍යාත්මය අනුව සිදුවන දෙයක් ලෙස එය සිදුවන්නේ නම් හදවතේ පවතින අපමණ සෙනෙහස නිසා අනිවාර්යෙන්ම තමන්ගේ ලේ දරුවා වෙනුවෙන් කිරි බවට හැරවෙන බව පියතුමා මෙහිදී පවසන ආකාරයෙන් ඔහුගෙ දරුවා වෙනුවෙන් පවතින ආදරයේ සෞන්දර්යාත්මක බව මනාව දිස්වෙයි.
පියතුමාගේ ලේ කිරි නොවුනත් මව කිරි දුන්නේ මවටද පෝෂණය ලැබුනු හෙයිනි. එසේනම් මව පෝෂණය කිරීමට සිදුවන්නේ කා හටද! ඒ පියායඔහුගේ බාරකාරත්වය කිසිවෙකු ඔහුට බලෙන් බාරදුන්නක් නොව ඒ ඔහුගේ හදවතෙන් ඔහු ලබාගත් නියෝගයකි. මව පෝෂණය කරමින් ඇයගේ උවමනාවන් ලබා දී දරුවාට අවශ්‍ය සියලූ දෑ ඇය හරහා ලබා දුන් බව ඔහු පවසයි.

මවකට මුවා වී නුඹ වෙත කිරි දුන්නේ
ඹම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ”

මේ පිළිබඳව කිසිවෙකුගේ අවධානය යොමු වන්නේ අඩුවෙනි. දරුවාට තම ලේ කිරිකර පොවා ඇති දැඩි කළායැයි මවට ගෞරව සම්ප‍්‍රයුක්තව සලකනුයේ ඇය දෘෂ්‍යමානව තම මෙහෙය සිදුකරන හෙයිනි. නමුත් ඊට පිටුපසින් කිසිවෙකුගේ දහඩිය කඳුලූ අති විශාල කැපකිරීමක් පවතින බව දන්නෝ දනිති. දැනගත්තා වුවද ප‍්‍රසිද්ධ කරුණක් වුවත් එ් සඳහා වටිනාකමක් ලැබෙනුයේ කලාතුරකිනි. ඒ දුක් වේදනා කෙතරම්ද යත් දන්නේ ඔහු පමණකි. වෙන කිසිවෙකුට ඔහුගේ හැඟීම්, වේදනාවන් තේරුම් ගැනීමට නොහැකිය. නමුත් ඔහු නිහඩව එය විද දරා ගන්නේ එක් දෙයක් නිසාවෙනි. ඒ හදවත පුරා පවතින අපරිමිත දරු සෙනෙහස නිසාවෙනි. එම ආදරයේ පවතින්නේ ගැඹුරු සෞන්දර්යාත්මක බවකි. නමුත් මෙම ආදරයේ තරම දරුවන් හඳුනන්නේ නැති බව පියතුමාගේ ඉතාමත් දුකට කාරණයකිx ඔහු විමසන්නේ,

පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ”

අම්මා යන චරිතයට පමණක් මතු බුදුවන වන ලෙස පා‍්‍රර්ථනා කරනුයේ පිය සෙනෙහස හඳුනන්නේ නැත්තේ කිමද යනුවෙන් ඉතාමත් සංවේදීව මෙහිදී ඉදිරිපත් කරන ආකාරය අලංකාරය. සමස්ථ පිය වරුන්ගේම පැනයක් ඉදිරිපත් කරමින් සමස්ථ සමාජයටම මෙහිදී සෞන්දර්යාත්මක සන්නිවේදනයක මනාවට යෙදෙයි. එය යථාර්තවාදීව තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය. එහි පවතින සෞන්දර්යාත්මක බව 
තේරුම්ගැනීමට මෙම ගීතයේ ශබ්ද රසයට වඩා අර්ථ රසය හඳුනාගත යුතුය.

මෙම ගීතය පිළිබඳ විශේෂයෙන් සෞන්දර්යාත්මක බව විමසීමේදී මෙම ගීතය සරල බස් වහර පැහැදිලිය. පැවසීමට අවශ්‍ය දේ ඉතාමත් සංවරයෙන් යුතුව එමෙන්ම සංවේදීව ඉදිරිපත් කර ඇත. මෙම ගීතය පිළිබඳ ඉතාමත් වැදගත් කාරණයක් දක්වන්නේ නම් ඒ මෙහි රචකයා පිළිබඳවය. මෙම ගීතයේ ගායනය ටී.එම් ජයරත්නයන්ය. මෙහි රචකයා විශේෂිත පුද්ගලයෙකි. නිවැරදිව දක්වන්නේ නම් මෙම ගීතයේ සෞන්දර්යාත්මක බව මෙන්ම විශේෂිත බව රැදී තිබෙනුයේ එහි රචකයා කාන්තාවක් වීමය. එනම් ටී.එම් ජයරත්නයන්ගේ බිරිඳ මාලිනී ජයරත්නයන්ය. මෙසේ ගීපදවැල් බැඳ ඇත්තේ මවක් ලෙස බිරිඳක් ලෙස ඇයගේ ස්වාමියාගේ ජීවිත කතාවද? මේ පිරිමි සිතක තිබෙන හෙළි නොකරන සිතිවිලි ගැහැනු සිතකින් ගී පදවලට ගළපා ඇත්තේ සැබෑම දරු සෙනෙහස නිසාය. එසේම තමාට පිටුපසින් ශක්තියක් වූ තම දරුවන්ගේ ආදරණීය පියාණන් වූ තම ස්වාමියාගේ කතාව විය හැකිය. ඇය හඳුනාගත් එම සංවේදී සිත මුලූ සමාජයේම පියවරුන්ගේ යථාර්ථය ලෙස දරුවන්ට පමණක් නොව ලොවටම හඩ නගා පැවසීමට ඇය ගත් උත්සාහය ඉතාමත් සෞන්දර්යාත්මකය. එම කළ සන්නිවේදනය ඉතාමත් සාර්ථකය.  මෙහි සෞන්දර්යාත්මක බව ඉස්මතු වන ප‍්‍රධාන කාරණය වන්නේ මෙම මව තම දරුවන්ගේ පියතුමාගේ සිතිවිලි මනාවට තේරුම් ගැනීමය. එසේම දරුවන්ට තමන් හා සමානව පියාද ඔවුන් වෙනුවෙන් කළ මෙහෙවර පහදා දීම සහ ඔහුගේ ගෞරවය ආරක්ෂා කිරීමය. මෙලෙස විමසා බලන විට උක්තයේ සඳහන් කළ අයුරින් පියෙකුගේ දුක වේදනාව දුටු කිසිවෙකු නොමැති බව මුසාවක් වනු ඇත. එනම් තම දරුවන් වෙනුවෙන් තම ස්වාමියා සිදු කරන අපමණ කැපකිරීම් බිරිදක් ලෙස අංශු මාත‍්‍රයක් නොහැර මනාව ඇය දනී. නමුත් එය ලොවට පවසන අම්මා වරුන් අඩුය. එලෙස සැලකීමේදී මෙම රචිකාවියගේ පති ගෞරවය මෙන්ම මනුෂ්‍යත්වයද අගය කළ යුතුය. තමන් මවක් තමන්ව සියලූ ගරු බුහුමන් සමාජයෙන් නොඅඩුව හිමිවී ඇත. නමුත් පියෙකු ලෙස ඔහු කෙරූ මෙයෙවරද ඇතැම් විට තමන්ට වඩා ඉහළ බැව් වටහා ගත් ඇය තමාට මෙන්ම පියතුමා යන චරිතයටත් සමාජයෙන් නිසි ගෞරවය හිමි විය යුතු බව පැවසීම යා එය දිනාගැනීමට කිසි විටෙක පියා ලොවෙන් ආයාචනය නොකරන බැවින් ඇයම එම ගෞරවය ඔහුට දිනාදීමට ගන්නා උත්සාහය ඉතාමත් වටිනේය. මෙලෙස සලකන විට මෙම ගීතයේ ශබ්ද රසයට වඩා එහි යට වූ කතාන්තරය හා එහි නිර්මාණයේ පාදම හා නිර්මාණකරු පිළිබඳ සලකා බැලීමේදී සැබෑ සෞන්දර්ය ගැබ් වී ඇත්තේ එහි බව උක්තයෙන් පැහැදිලි වේ. එනම් මව් සෙනෙහස පිළිබඳ පමණක් බොහොම ඉහළින් සලකන සමාජයට පිය සෙනෙහසේ තරම පහදාදීමට ඉදිරිපත් වී සිටින චරිතය ඉතාමත් විස්වසනීයයි. එම විස්වාසය රැදී ඇත්තේ මවක් හා බිරිදක් ලෙස ඇයට වඩා පියා යන චරිතය හදුනන අන් කිසිවෙක් නොමැති නිසාය.

මෙම ගීතය පිළිබඳ සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන් විචාරයේ යෙදෙන විට දක්නට ඇති කාරණයක් වන්නේ දාර්ශනික වශයෙන් අප තුළ ඇතිවන සෞන්දර්යාත්මක හැඟීම් විග‍්‍රහ කිරීමට ” බෙල් රින්ගර්” විද්වතා ඉදිරිපත් කරනු ලැබූ කරුණු වලට අනුව එහි පාරභෞතික (Metaphysics) ක‍්‍රමයට අදාළ වන බවය. එනම් ආධ්‍යාත්මික තත්වය හා ස්වාභාවික යථාර්ථය අතර ඇති සබඳතාවයන් මෙම ගීතයේ ඉදිරිපත් කර සෞන්දර්යාත්මක රසයක් ලබා දී ඇත. පියෙකුගේ භූමිකාව මවකගේ භූමිකාව හා සාපේක්ෂව ගත්විට ලැබෙන තත්වය හා දරුවන්ගේ හා පියාගේ අතර සම්බන්ධයේ යථාර්ථවාදී තත්වය හෙළි කරමින් පියාගේ ආද්‍යාත්මික තත්වය හා ඔහුගේ වේදනාව, ඔහුගේ සෙනෙහස හෙළි කරමින් මෙහිදී සමාජයට විවරණය කරණුයේ දරුවන්ගේ ලොවේ සඳ මවනම් ඒ සඳටත් ඒ ලොවටත් ප‍්‍රධාන ආලෝකය වන්නේ පියතුමා බවය. මන්ද සඳ ලොවේ අඳුර නසන්නේ හිරුගේ ආලෝකයෙනි. හිරු නොමැතිව සඳුට ලොවක් එළිය කළ නොහැකිය. පවුලක් තුළද පියා නොමැතිව කිසිවක ශක්තිමත් බවක් නොමැත. පැවැත්ම අවධානම්ය. කෙසේ වෙතත් ඔහුට හිමි විය යුතු පිිළිගැනීම සමාජයෙන් දරුවන්ගෙන් හිමි නොවුනත් කිසිදු අමනාපයක් හෝ දරුවන්ට පවතින සෙනෙහසේ අඩුවක් නොවන බවට පියෙකුගේ හදවත මෙහිදී රචකාවිය තම අත්දැකීමෙන් ඉතා සෞන්දර්යාත්මක රසයෙන් යුතුව ලොවට විවරණය කරන ආකාරය ඉතා හැඟුම්බර මෙන්ම එය අතිශය සාර්ථකය.


ගීතය


අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ..








ගායනය: ටී.එම් ජයරත්න
පද රචනය: මාලිනී ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ