Thursday, May 24, 2018

මුතුරාජවෙල තෙත් බිම

මුතුරාජවෙල තෙත් බිම
සොබා සෞන්දර්යේ ඉතා චමත්කාරජනක නිර්මාණයක් ලෙස මුතුරාජවෙල වගුරු බිම හඳුන්වා දිය හැකිය. රැම්සාර් සම්මුතියේ අර්ථ දැක්වීමට අනුව ශ‍්‍රී ලංකා තෙත්බිම් වර්ගීකරණයේදී අභ්‍යන්තර මිරිදිය තෙත්බිම් ගණයට මුතුරාජවෙල තෙත්බිම අයත් වේ. නිරන්තරයෙන් ගංවතුරට යටවන විල්ලූ ප‍්‍රදේශයකි.
1996 ඔක්තෝම්බර් 31 දින හෙක්ටයාර 1285.8ක් සහිත ප‍්‍රදේශයක විහිදී ඇති මුතුරාජවෙල අභය භූමියක් ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. මෙම පරිසර කලාපය ජා ඇල, වත්තල,කටාන ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ තුළ පැතිරී ඇත්තේය. ආසියානු තෙත්බිම් ලැයිස්තුවේ 41වන ස්ථානයට මුතුරාජවෙල තෙත්බිම පත්ව ඇති අතර මෙම බිම සංක‍්‍රමණික පක්ෂීන්ගේ කදිම නිවහනක් වී ඇත.
ඒ අනුව දේශිය මෙන්ම විදේශිය පක්ෂීන්ද වෙයි. මෙය කිවුල් දියටම ආවේණික වු කඩොලාන පරිසරයකින්ද විවිධාකාර සියොතුන් හා උභය ජීවින්ගෙන්ද කෘමි විශේෂ, ජලජ පැලෑටි වලින්ද යුක්ත තෙත්බිමකි. ලෝක සංරක්ෂණ සංගමයේ දත්තයන්ට අනුව (IONC) මුතුරාජවෙල වගුරු බිම තුළ කුල 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34ක්ද, මත්ත්ස්‍ය විශේෂ 21ක්ද, උභය ජීවි විශේෂ 14ක්ද, උරග විශේෂ 31ක්ද, පක්ෂි විශේෂ 102ක්ද, බත් කූරන් විශේෂ 22ක්ද, සමනල විශේෂ 48ක්ද වාර්තා වී ඇත.
නිදසුන්,


  • ක්ෂීරපායින්- උණහපුළුවා, කොළ දිවියා, අඳුන් දිවියා, රිලවා
  • මත්ස්‍යයින්- රැුවුල් දණ්ඩියා, උඩ ගඳයා, කොළ කණයා, මගුරා
  • උරගයින්- ගැට කිඹුලා, කිරි ඉබ්බා, පිනුම් තැල් කටුස්සා
  • පක්ෂීන්- රත්නළල් කොට්ටෝරුවා, නිල් කිතුලා, කරවැල් කොකා, මල් පිළිහුඩුවා, කඩොල් කොකා


මෙම මුතුරාජවෙල වගුරුබිම කොළඹ ආසන්නයේ පවතින ඉතා වටිනා සම්පතකි. වර්තමානයේ මුතුරාජවෙල තෙත්බිමෙන් හෙක්ටයාර 2000ක පමණ භූමි ප‍්‍රමාණයක් සංරක්රක්ෂණයටද පියවර ගෙන ඇත්තේ මෙහි ඇති ස්වාභාවික සුවිශේෂීතාව හේතුවෙනි. මුතුරාජවෙල තෙත්බිම පිළිබඳ ඓතිහාසික තොරතුරු හෙළිකරන්නේනම් 08වන වීරපරාක‍්‍රම රජුගේ(කි‍්‍ර.ව 1484-1508) අවධියේදී මෙම ප‍්‍රදේශය ”මුතුවන් සහල් ලබා දුන් කෙත් යායක්” ලෙස විරුදාවලියට පත්ව තිබූ බව සඳහන් වේ. මුතුරාජවෙල කෝට්ටේ රාජධානි සමයේ ඉතා සශී‍්‍රකව පැවති කුඹුරු යායකි. රඩුට මුතුවන් සහල් සැපයීම නිසාත් ”මුතුරාජ” නම් පුද්ගලයෙකුගේ අණසකට යටත්ව පැවැති නිසාත් එම කුඹුරු යායට මුතුරාජවෙල යන නාමය ලැබුණු බව ඓතිහාසික ජනප‍්‍රවාදයේ සඳහන් වේ. පසුව යටත් විජිත සමයේ භාණ්ඩ ප‍්‍රවාහනය අරමුණු කරගෙන  ඕලන්ද ඇල සහ හැමිල්ටන් ඇල නිර්මාණය හේතුවෙන් ඇල හරහා ලවණ ජලය කුඹුරු යායට පැමිණ පසුව එම කලාපය වගාවට නොසුදුසු වී වගුරු බිමක් බවට පත්ව ඇත.
මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ ශී‍්‍ර ලංකාවේ දැනට වාර්තාගත පෘෂ්ඨවංශිකයන් අතරින් 40%ක ප‍්‍රමාණයක් ජීවත්වන බවත් මෙම විශේෂයන්ගෙන් බොහෝමයක් ශ‍්‍රී ලංකාවට ආවේණික වනවා සේම ඉතාමත් දුර්ලභ වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති විශේෂ ලෙසද සැලකේ. මුතුරාජවෙල හෙක්ටයාර 206.67 වූ පාරිසරික ආරක්ෂක භූමි ප‍්‍රදේශය ප‍්‍රධාන කලාප 03කට බෙදා ඇත.

  1. 01. මුතුරාජවෙල සංරක්ෂණ කලාපය
  2. 02. පේ‍්‍රරණ කලාපය
  3. 03. මිශ‍්‍ර නාගරික කලාපය

සංරක්ෂණ කලාපය තුළ කටයුතු වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව කි‍්‍රයාත්මක වේ. මිශ‍්‍ර නාගරික කලාපය තුළ සංවර්ධන කටයුතු සඳහා ඉඩ අවස්ථා සලසා දී ඇති අතර මේ කලාපය මගින් සංරක්ෂණ කලාපයට සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරීම සඳහා පේ‍්‍රරණ කලාපය වෙන්කොට ඇත.


4 comments: