Friday, June 1, 2018

දවසක් පැල නැති හේනේ ගීතය සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන්,


දවසක් පැල නැති හේනේ-අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා-ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යටකරගෙන-නින්දා වැහි වැගිරුනදා 
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැැනුනා මට අම්මේ
නුඹෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

කොළඹ අහස කලූ කරගෙන-මුහුදු හුළඟ හඬලන විට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ 
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ...

      
ගායනය සහ සංගීතය-ගුණදාස කපුගේ
පද රචනය- රන්බණ්ඩා සෙනෙවිරත්න


මෙම ගීතයේදී පුතෙකු මවකගේ ගුණ ඉස්මතු වන ආකාරයට ඉදිරිපත් නරන කතාවක් අඩංගු වෙයි. තම දිවි නොතකා පියා මෙන්ම මවද දරුවකුව සෑමවිටම රුකවරණය ලබා දෙයි. නමුත් පියා නොමැති විය මව පියා දෙදෙනාම වන්නේ මවයි. මෙහීදී මෙම දරුවාට මවත් පියාත් දෙදෙනාම වී ඇත්තේ අම්මා පමණක් බව පෙනෙයි.

‘දවසක් පැල නැති හේනේ-අකාල මහ වැසි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ’

මෙහිදී වචනයෙන් ඇසට පෙනෙන ලෙස තේරුම් යන්නේ පැලක් නැති හේනක අකලට වැස්ස වැස්සකදී හිසට සෙවනක් නොවූ හෙයින් පුතු නොතෙමෙන ලෙස මව ඔහුව ආවරණය කරගෙන ඇය තෙමුන බවය. වැස්ස තුරන් වන තුරු ඇය එකම ඉරියව්වෙන් තමන්ට රුකවරණය දුන් බව පුතා සිහිපත් කරයි. එය එසේ සඳහන් කළත් මෙම ගීතය සෞන්දර්යාත්මක ප‍්‍රවේශයෙන් විමසීමේදී මෙහි වචන ඇතුළත ගැබ්වූ අර්ථය මෙයට එහා ගිය බරපතල කාරණයක් ඇති බව පෙනෙන්නට ඇත. මෙහීදී ‘පැල නැති හේන’ යනුවෙන් අදහස් කරනුයේ ඔවුන්ගේ පියතුමා නොමැති පවුල විය හැකිය. එනම් ‘පැල’ යෙදුමෙන් ඔවුන්ට රැකවරණය දුන් ශක්තියක් වූ පියතුමා නොමැතිව ඔවුන්ගේ පවුල වියළි කාෂ්ඨක හේනක් වී ඇති බව තේරුම් ගත හැකිය. ඒ කෙසේ වුවත් පියෙකුගේ රැුකවරණය අහිමි වූ මෙම මවට හා පුතුට විවිධ ගැටලූ මෙන්ම ජීවත් වීමට ඇති දුක් පීඩා, වේදනාවන් සියල්ල මව විසින්ම විදදරා ගනිමින්  තමන්ව රැුකගත් බව පුතා කාලයක් ඉක්ම ගිය පසු සිහිපත් කරයි. මවකගේ ආදරය සෙනෙනහස කරුණාව මනාව ඉස්මතු කරමින් දෘෂ්‍යාර්තයට වඩා ගැඹුරු අර්තයක් මෙහි සඟවා ලොවට ඉදිරිපත් කිරිම තුලින් විශිෂ්ට සෞන්දර්යාත්මක බවක් මෙයින් ඉස්මතු වී පෙනෙයි.
අපමන දුක් විද තමදරුවා ලොකු මහත් කර සමාජයේ වැදගත් ස්ථානයකට පත් කරන මව වෙතින් ඔහු ඈත් වන්නේය. මව තනිකර මොහු නගරයට පැමිණෙයි. සමාජයේ තනතුරු තානාන්තර ලබයි. විවාහයක් ද සිදුකරගෙන ජීවිතය ගෙන යන අතරතුර දිවියේ අපහසු කාලසීමා පසුකරන විට සමාජයෙන් නින්දා අපහාස එල්ල වන විට ඔහුට නැවතත් තමන්ගේ මව මතකයට නැගෙයි.

‘නුවර වීදි යටකරගෙන-නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනහෙ ගියා-යෝධ ඇලේ නැම්මේ
නුඹෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ’

එනම් ඔහුට සමාජයේ හිමි වී තිබූ තත්ව තානාන්තර ගිලිහී යමින් දෝෂාරෝපන එල්ල වන විට ඔහු අසලින් සිටි සියල්ලන්ම ඔහු වෙත්න් ඉවත්ව යයි. ඔහුගේ බිරිඳ පවා ඔහු හැර යයි. සියල්ල ඔහු සතුව ඇති විට සැවොම ඔහු වටා සිටියද තමන් දුකට පත් වූ අවස්ථාවේ කිසිවෙකු නොවීය. ඔහු හා සියලූ දෙයට සිටි බිරිඳ පවා ටිකින් ටික වෙනස් වූ බව ඔහු පවසන්නේ කදිම උපමාවකිනි. යෝධ ඇලේ බැසිමට ඇගේ වෙනස් වීම සමාන බැව් ඔහු උපමා කරයි. එනම් යෝධ ඇලේ බැස්ම ක‍්‍රමවත්ව සැතපුමට අඟල් 06ක් බැගින් විස්මිතව සිදුකර ඇත. එලෙස ටිකින් ටික බිරිඳගේ සෙනෙහස තම තනතුරු නම්බු නාම සමඟම ඈත් වූ බවත් තමන් තනි වූ බවත් ඔහු දක්වන්නේ කලකිරීමෙනි. එම තනි වූ විට ඔහුට නැවතත් තම මව මතක් වෙයි. කොපමණ කරදර පීඩා පැමිණියත් අම්මා කිසි විටෙක ඔහු තනි කලේ නැති බව ඔහුට මතක් වේ. නමුත් ඔහු තම මව තනිකර දමා නගරයට පැමිණ නිර්මාණය කරගත් අලූත් ජීවිතය තුළ ගැටලූ පැන නැගී තමන් අසල සිටි සියල්ලන්ම තමන් හැර ගොස් තනි වී ඇති මොහොතේ ඔහුට මව සිහිවන්නේ ඔහුට පිහිටක් සරණක් වන්නේ ඇය පමණක් වන බව ඔහු දන්නා බැවිනි.

‘කොළඹ අහස කලූ කරගෙන-මුහුදු හුළඟ හඬලන විට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ’

මේ එල්ල වන නින්දා අපහාස ගැරහුම් අතර ඔහු අසන්නේ ඔහුට හිමිව තිබූ සියලූ දෙය අතහැර දමා නැවත අම්මාගේ තුරුලේ රැකවරණය ආදරය පතා එන්නය. ඔහු එය මවගෙන් ආයාචනා කරන ස්වරය ඉතාමත් හැඟුම්බරය.

‘මං එනතුරු ඉදිකඩ ළඟ ඉන්නවාද අම්මේ’

තම පුතණුවන් නැවත පිළිගන්න කිසිදු වෙනසකින් තොරව ඉදිකඩ ළඟ බලාපොරොත්තුවෙන් ඉන්නවාද ලෙස ඔහු මවගෙන් ඉල්ලා සිටියි. සත්‍ය වශයෙන්ම ඔහු එය ඇයගෙන් ඇසිය යුත්තක් නොවෙයි. ඇය සැම දිනම තම පුතනුවන් දැකීමේ ආශාවෙන් මග බලා සිටිනවා විය හැකිය. දරුවන් උස් මහත් වූ පසු දෙමාපියන් හැර දමා ඔවුන් ඔවුන්ගේ ජීවිත ගොඩනංවා ගනී. එය වර්තමාන සමස්ථ සමාජයේම ශෝචනීය යථාර්තයක් බවට පත්ව ඇත. නමුත් දෙමාපිය සිත් තුළ කිසිදු කහටක් තම දරුවන් පිළිබඳ ඇති නොවෙයි. ඔවුන් තම දරුවන් කෙදිනක හෝ තමන් බැලීමට පැමිණේවි යන බලාපොරොත්තුව ඇතිව ජීවත් වෙයි. සෑම දිනම එක ලෙස ඔවුන්ගේ හදවත් දරුවන් වෙනුවෙන් විවෘතය. එසේනම් මෙම ගීතයේදී ඔහු මවගෙන් ආයාචනය කරන්නේ තමන්ගේ මවත් තමන්ට ඇති ආදරය නොවෙනස් බව දන්නා හෙයිනි.

මෙහිදී මොහුට අම්මාගේ සෙනෙහසේ වටිනාකම සිහිවන්නේ සෑහෙන කාලයකට පසුය. සමාජයේ ඉහළ තත්වයකට පැමිණ තනතුරු තානාන්තර ඇතිව විවාහයක්ද සිදුකරගෙන සුඛෝපභෝගී ජීවිතයක් ඔහු ගත කළ බව ‘ඔටුන්න’ යන යෙදුමේදී අර්තවත් වේ. නමුත් කිසිවිටෙකදී ඍම ගොඩනගාගත් සියල්ල බිද වැටුනු විට ඔහු වටා සිටි සියල්ලම ඔහු හැර ගිය විට ඔහු පතන එකම සරණ අම්මා පමණකි. එ් අම්මා කිසිදිනෙක වෙනස් නොවන උතුම් මිහිපිට දේවතාවියක් ලෙස ඔහු දනියිි එබැවින් ඔහුව නැවත බාරගන්නා ලෙස ඔහු ආයාචනා කරන ස්වරූපය ඉතා අසරණ මෙන්ම හැඟුම්බරය. එසේම එය සියලූ මානව සමාජයටම පණිවිඩයකි. එසේනම් මෙහිදී ව්‍යංගයෙන් පවසනාර්තය වන්නේ හයක් හතරක් නොතේරෙන අවධියේ සිට පණ මෙන් රැකගෙන සිප් කිරි පොවා සමාජයේ වැදගතෙකු බවට දරුවන් පත්කිරීමට වෙහෙසෙන දෙමාපියන් හට ඔවුන්ට කිසිවක් කර කියා ගත නොහැකිව මහලූ වූ විට දරුවන් ඔවුන්ට යුතුකම් ඉටුකල යුතු බවයි. මන්ද සැමවිටම දරුවන්ගේ පිහිට සරණ මෙන්ම සාර්තකත්වයේ පදනම ඔහුගේ දෙමාපියන් වන හෙයිනි. නිතරම දරුවන්ගේ දුකේදී මවගේ හදවත උණුවන බවක් එම දුක් නිවීමට දරුවකුට මවගේ සෙනෙහස කරම් වෙනත් කිසිදු ඔසුවක් නොමැති බවත් මෙම ගීතයේදී සෞන්දර්යාත්මක රසයෙන් යුතුව ලොවට පෙන්වා දෙන ආකාරය අගනේය.  



4 comments: